කාලෙකිං ෆිල්ම් එකක් බලන්න උනේ නැති හින්දා පහුගිය දවස් දෙක ඇතුලත ෆිල්ම් 6ක්ම බැලුවා.

* Memento (2000)
* Dinosaur (2000)
* Jurassic Park (1993)
* The Lost World: Jurassic Park (1997)
* Jurassic Park III (2001)
* Planet of the Apes (2001)

Memento (2000) කියන්නේ යම් අනතුරකින් පසුව තවදුරටත් මතකයන් නිර්මාණය කළ නොහැකි පුද්ගලයෙක් එම සිද්ධියට වගකිවයුත්තන් සෙවීම අරමුණ කරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක. නමුත් චිත්‍රපටයේ අවසානභාගය වෙනකොට ඔහු කෙරේ ඔබේ අනුකම්පාව භූමිකම්පාවක් වනු නිසැකයි.

දෙමළෙන් 2005දීත් හින්‍දියෙන් 2008දීත් නිර්මාණය වුනු Ghajini චිත්‍රපටය නිර්මාණය වුනේ මේ චිත්‍රපටයේ මූලික සංකල්පයෙන්. හැබැයි Ghajini සහ Memento සම්පූර්ණයෙන්ම වෙනස්. කලින් Memento ගැන අහන්න ලැබිලත් බැලුවේ නැත්තේ ඒක Ghajini වගේම ඇති කියලා හිතලා. නමුත් ඒක එහෙම නෙවෙයි.

කුඩා කාලයේදීම රංචුවෙන් වෙන්වී වඳුරන් සමූහයක් සමග ඇතිදැඩි වන ඩයිනෝසෝරයෙක්, පෘථිවියට එල්ළවන උල්කාපාත වර්ෂාවකින් අනතුරුව නව වාසභූමියක් සොයා යන ගමනේදී තවත් ඩයිනසෝර රංචුවකට එක්ව, ඔවුන්ව සාර භූමියක් කරා මග පෙන්වන ආකාරය Dinosaur (2000) චිත්‍රපටයේ දැක්වෙනවා.

Disney සමාගමේ ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටියක් වන මෙය නායකත්වය (දින විසි එකේ ක්‍ෂණික එක නොවේ.), කණ්ඩායම් හැඟීම, කරුණාව දයාව යන ගුණාංග ඉස්මතු කරනවා.

Dinosaur බැලුවාට පස්සේ මට මතක් වුනා ඩයිනසෝරයන් යන නම කියූ පමණින් සිහියට එන Jurassic Park චිත්‍රපටි මාලාව මම බලලා නැති විත්තිය. ඉතිං ඊළඟට කළේ ඒ තුනම එක දිගට බලපු එක. 

John Hammond ගේ InGen ආයතනය මගින් පොසිලගත මදුරුවන් තුළ තැන්පත්ව ඇති ඩයිනෝසර රුධිරයෙන් DNA උකහාගෙන ඒ ඇසුරින් ඩයිනෝසරයන්ව ප්‍රතිනිර්මාණය කර, ඔවුන්ව යොදා Isla Nublar දූපතේ සකස් කරන ලද උද්‍යානයේ ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක් ලබාදීම සඳහා එතුළ චාරිකාවකට එක් වන පිරිසට මුහුණ දෙන්නට වන අකරතැබ්බය මෙම චිත්‍රපට පෙළේ Jurassic Park (1993) නම් පළමු චිත්‍රපටයෙන් විස්තර වෙනවා.

InGen සමාගම විසින් Isla Sonar නම් දෙවන දූපතේ පවත්වාගෙන ගිය ඩයිනෝසර අභිජනන මධ්‍යස්ථානයක් කුණාටුවකින් ආපදාවට පත්වීමෙන් පසු අතහැර දැමීම නිසා මිනිස් වාසයකින් ‍තොර වූ දිවයිනේ ඩයිනෝසරයන් නිදහසේ දිවි ගෙවනවා. John Hammond ගෙන් පසුව InGen සමාගමේ ප්‍රධානීත්වයට පත් ඔහුගේ ඥාති පුත්‍රයෙක් සූදානම් වන්නේ එයින් සතුන් අල්ලාගෙන විත් ප්‍රධාන ගොඩබිමේ උද්‍යානයක් සාදා ඔවුන්ව ප්‍රදර්ශනය කරන්නටයි.

මෙයට විරුද්ධ වන Hammond, අදාළ වන දත්ත එකතු කිරීම සඳහා පසුගිය චාරිකාවට එක් වූ Ian Malcum ඇතුලු පිරිසක් දිවයිනට යවනවා. ඒ අතරතුර ඔහුගේ ඥාති පුත්‍රයා විසින් එවන කණ්ඩායමද සතුන් අල්ලාගෙන යාම සඳහා දිවයිනට එනවා.

කෙසේ හෝ The Lost World: Jurassic Park (1997) නම් දෙවන චිත්‍රපටයේදීත් නැවත වතාවක් පිරිසට සිදුවන්නේ ජීවිතය බේරාගැනීම සඳහා දිවයන්නටයි.

Jurassic Park III (2001) චිත්‍රපටය තුළ, කොස්ටාරිකානු රජය මගින් තහනම් කලාපයක් බවට පත් කර තිබෙන Islar Sonar දූපතට ආසන්න මුහුදේ parasail ක්‍රීඩාව සඳහා ගිය කුඩා ළමයෙකුහට අනතුරක් නිසා දිවයින තුළට ගොඩබසින්නට වෙනවා. ඔහුගේ දෙමාපියන් ඔහුව සොයාගැනීමේ අරමුණින් Allan Grantගේ සහයද ඇතිව දූපතට යන්නේ නැවත වතාවක් ජීවිතය අවධානමේ දමමින්.

Planet of the Apes (2001) චිතුපටයේදී, අභ්‍යවතාශයේ විද්‍යුත්චුම්භක අසාමාන්‍ය කලාපයක් හරහා ගමන් ගන්නා අභ්‍යවකාශගාමියෙකු අනතුරක් නිසා ගොඩ බසින්නේ මිනිසුන් වහල්භාවයේ තබාගෙන සිටිනා වානරයන්ගෙන් පිරි ලොවකටයි‍. කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදී ආපසු මවු යානයට එන්නට තැත් කරන ඔහුට අවබෝධ වන්නේ තමා පැමිණ ඇත්තේ අවකාශයේ මෙන්ම කාලයේද දුර ඈත ස්ථානයකට බවයි.

8 thoughts on “ෆිල්ම් පිස්සුව

  1. momento ඇරුණම අනික් ඔක්කොම බලලා තියෙන එව්වා එකම තීම් එකකට ගිය එව්වා නේද..?? මොකක් උනත් මේ චිත්‍රපට ටික ඉදිරි දවසක බලන්න මමත් හිතාගෙන ඉන්නවා..!!

    Reply
    • ඔවු, Dinosaur සහ Jurassic Park මාලාව කොහොමත් එක පරිසරයක යන්නේ. Planet of the Apes එකත් අපිට පුළුවන් මිනිසුන් වෙනුවට වෙනත් ජීවීන් රජ කරන පරිසරයක මිනිස්සු හැසිරෙන්නෙ කොහොමද කියන එක විස්තර කෙරෙන සෙට් එකකට දාන්න.

      අනිවා හොයාගෙන බලන්න. Jurassic Park චිත්‍රපටි මාලාව නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්.

      Reply
  2. පස්ට ‍ෆිල්ම්ය..ඔක්කොම බලා ඇත.. :)
    පුලුවන් නං මයිකල් කිච්ටන් ගෙ පොත හොයන් බලන්න..

    Reply
    • පස්ට නං තමයි, හැබැයි JP 1යි 2යි තරං 3 ඇල්ලුවේ නෑ මට. ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණේ නොකල නිසාද දන්නෙත් නෑ.

      පොත් දෙකෙං එකක්ද කොහෙද චන්‍දන මෙන්‍ඩිස් පරිවර්තනේ කරපු එකක් කියෙවුවා. PDF එකක් බාගෙන කියවන්න ඕන. :)

      Reply

Leave a Reply