මට ලියන්න හිතුනා අද වන විට මගේ ජීවිතේම කොටසක් වෙලා තියන පරිගණකය කොහොමද ඒ තත්වෙට ආවේ කියලා. මේක ලියන්න පටන්ගන්නේ වෙනදා ලියනව වගේ නිශ්චිත අවසානයක් කරා ලිපිය අරන් යන්න නෙවෙයි, මතක් වෙන මතක් වෙන ඒවා ඔහේ ලියල දාන්නං.
මට මතක හැටියට මම ඉස්-ඉස්සෙල්ලාම පරිගණකයක් පාවිච්චි කළේ අපේ තාත්තගෙ කාර්යාලයේදී. ඒ මම තුන-හතර (දෙක-තුන වෙන්නත් පුළුවන්, ඒත් එක වසර නෙවෙයි කියලා ෂුවර්.) පංති වල ඉන්න කාලේ.
අපේ තාත්තා ඒ දවස් වල (ඉඳලා දැනට වසර එක හමාරකට පමණ පෙර විශ්‍රාම යනකං) වැඩ කළේ හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඒ කාර්යාලයේ ඒ දවස් වල පරිගණක කියලා භාවිතා වුනේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ එකත්, ගිණුම් අංශයට ගිණුම්කරණ කටයුතු සඳහා ලබාදීලා තිබුනු පරිගණක දෙකත් විතරයි. ගිණුම්කරණ කටයුතු කිවුවාට ඉතිං කාර්යාලයේ පරිගණකයක් අවශ්‍ය වන හැම දේම කෙරුනේ මෙතනින්න කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඒ තමයි අවම පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම.
අපේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි විතරක් නිසා, ඒ දවස් වල අම්මා කොහේ හරි ගමනක් ගිය දවසට තාත්තා මාව කාර්යාලයට එක්කගෙන යනවා. පසුව ඒ පුරුද්ද මම පොඩි ඉස්කෝලෙ – ඒ කියන්නේ හක්මණ කෝංගල කණිෂ්ඨ විද්‍යාලයේ – යන කාලේ හම්බවෙන නිවාඩු මාස වල දිනයක් දෙකක් අනිවාර්යයෙන් කාර්යාලයට යන තත්වයට වර්ධනය වුනා. ඒ කාර්යාලයේ කස්ටිය මාත් එක්ක ගොඩක් ෆිට් වුනු නිසා, විශේෂයෙන්ම ගිණුම් අංශයේ අය. මේ ගිණුම් අංශයේ තමයි කාර්යාලයේ සේවක වේතන, විශ්‍රාම වැටුප්, කාර්යාලයීය ආදයම් වියදම් ලේඛන සැකසීම, කාර්යාලයේ ගණකාධිකාරී වරයා මේ අංශයේ ලොක්කා නිසා ඔහුගේ විෂයපථයට අදාළවන රාජකාරි තමයි මේ අංශයෙන් ඉටු කෙරුනේ.
ඒ දවස් වල කාර්යාලයේ ගිණුම් අංශය තිබුනේ පරණ ගොඩනැගිල්ලේ දෙවන මහලේ වම් පැත්තේ ශාලාවේ. මේ ශාලාවේ කොටසක් වෙන්කරලා වායු සමීකරණය කරලා තමයි තිබුනේ. මොකද එතන තමයි අර වටින කියන පරිගණක දෙක තැන්පත් කරලා තිබුනේ. ඊට අමතරව ගණකාධිකාරීවරයාගේ කාර්යාලයත් ඒ කොටස ඇතුලේම තිබුනා.
මම කාර්යාලයට ගිය ගොඩක් දවස් වල වැඩිපුරම කාලය ගත කරන්නේ මේ පරිගණක දෙක තැන්පත් කරලා තියන කොටසේ. මොකද මම හරිම කැමතියි මේ අරුම පුදුම උපාගෙන් වැඩකරන හැටි බලං ඉන්න.
මේසෙ උඩ තියන අතට අහුවෙන සයිස් එකේ පොඩි ගැජට් එකක් එහා මෙහා ගෙනියන හැටි, ඒක ගමන් කරනකොට තිරේ තිබුනු ඊතලෙත් එහා මෙහා යන හැටි, ඒ ගෙනියන එකේ තියන බටන් දෙක, ඒවා ඔබන කොට එන සද්දේ, ඒක එබුවාම සමහර තිරේ තියන කොටු නැතිවෙන හැටි, දිග ලයිස්තු ඉහළ ඉඳන් කඩා වැටෙන හැටි, අකුරු ගහපු බටන් ගොඩක් තියන පෙට්ටිය, ඒකෙ අකුරු එබුවාම එන “ලස්සන” සද්දේ, ඒකෙ තියන අකුරු එබුවාම තිරේත් ඒ අකුර වැටෙන හැටි මම බලාගෙන හිටියා.
ඒ දවස් වල ඒ පරිගණක දෙකේ වැඩ කළේ “සුනිල් අංකල්” කියලා මම කතා කරපු අංකල් කෙනෙක්, නමුත් එයා පරිගණක ක්‍රියාකරුවෙක් නෙවෙයි, ලිපිකරුවෙක් වුනු එයා තමංගෙ පෞද්ගලික දැනුමෙන් තමයි පරිගණක භාරව කරන වැඩේ කරගෙන ගියේ. දැං එයා ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කරනවා. කොහොමහරි මේ අංකල් මාත් එක්ක හරි ෆිට්. කොච්චර ෆිට් ද කියනවා නං එකපාරක් කාර්යාලෙ කස්ටිය ගිය විනෝද චාරිකාවකදී සිරීපාදේ කරණාකරනකොට මම කකුල් දෙක රිදෙන නිසා නගින්න බෑ කීවම එයා මාව කරේ තියාගෙන ගිහිල්ලත් තියනවා (ඕං නෝන්ඩි දානව නෙවෙයි, මට නං ඕව මතක නෑ, මේ අපේ අම්මයි තාත්තයි කියන බොරු!)!. ඉතිං එයා වැඩ කරන අතරෙ මම අහනවා “මේකට මොකක්ද කියන්නේ?” “මවුස් එක” “මේක ගෙනියනකොට අර චූටි ඊතලේ එහා මෙහා යනව නේ?” “ඔවු, මේ බටන් එකෙන් තිරේ තියන බටන් ගාවට ඊතලේ ගෙනිහිං ඒක ඔබන්න පුළුවං” ඔන්න ඔය වගේ.
මම හිතන්නේ නෑ දැං තැං තැං වල හතු පිපෙන “කොම්පියුටර් ක්ලාස්” වල පොඩි අයට කියන විදියට “මේක මවුස් එක, මේක කීබෝඩ් එක, මේක system unit එක, මේක monitor එක, මේවා input devices, මේවා output devices” කියලා කියන හෑල්ල කීව නං ඔය කොම්පියුටර් කෙරුවාව මට අල්ලල යයි කියලා. හොඳට හෝ නරකට, මට හරියන ක්‍රමේකට පරිගණකයට මම අත තිබ්බා, ඉස්සෙල්ලා බලං හිටියා – මට ඕන ප්‍රශ්න මම ඇහුවා – මට ඕන උත්තර ලැබුනා. ඒක මම පරිගණකයට ඇබ්බැහි වෙන්න හේතු සාධකයක් උනා, දැනටත් මගේ ඇඟේම කොටසක් වශයෙන් මම පරිගණකය පවත්වගෙන යනවා(හෝ පරිගණකය මාව පවත්වගෙන යනවා, දෙයියො දනී!).
ඉතිං ඔය වගේ දවසක ඒ අංකල් මගෙන් ඇහුව පොඩ්ඩක් “කම්පියුටරේ කරල බලන්න” ඕනද කියල. මම නං එපා කියයි. එයා කළේ එකක් (මොකක්ද කියල මම ඒ දවස් වල දන්නෙ නෑ, ඒත් ඒක Windows වල Display Properties dialog box එක.) අරගෙන ඒකෙ තියන පිංතූර තෝරල බොත්තමක් ක්ලික් කළාම ඒක තිරේ පිටිපස්සට එන විදිය මට පෙන්නපු එක. වැඩේ සරලයි, මම ටක් ගාලා අල්ලගත්තා. ලිස්ට් එකෙන් නමක් තේරුවාම පිංතූරයක් පුංචියට පෙන්නනවා, ඒක හොඳනං බටන් එකක් (මේ එතන තියන Apply බොත්තම.) ක්ලික් කළාම පිට්පස්සට එනවා. ඕං එහෙනං මම ජීවිතේ ඉස්සෙල්ලම වැඩ කළ සංවාද කොටුව තමයි Microsoft Windows 98 වල Display Properties සංවාද කොටුව.
කොහොමහරි, ඉගන ගන්න තියන ආසාවට වඩා ඒ දවස් වල පරිගණකයක් ගෙදර නොතිබුනු මට පරිගණකයක් භාවිතා කරන්න වේලාවක් ලබා ගන්න ඕන නිසා අර කලිං කීව වගේ හතු පංතියකට මම ගියා. ඒකෙ ටීචර් (කිවුවට අක්කා කෙනෙක්!) අර හෑල්ල කියවන්න හදනකොට මම කිවුවා මම ඒව දන්නව කියල. කොහොමහරි මම එතනිං මගෙ යතුරු ලියන වේගේ එහෙම හදාගන්න පුළුවන් තරම් දිග කාල පරාස වල පරිගණකය භාවිතා කළා, ඒක එතනිං වුනු උදව්වක්. අනිත් ළමයි Word, Excel එක්ක දීපු assignments සම්පූර්ණකරන්න ඔට්ටු වෙනකොට මම ඒව ඉවර කරලා විජය පරිගණක පත්තරෙන් ඉගෙන ගත්තු Visual Basic වලින් ගෙදරදී කොල වල ලියල අරන් යන source codes එතන පරිගණකයේදී ක්‍රියාත්මක කරලා බලනවා.
මගේ පරිගණක භාවිතාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළමු කොටස තමයි මම මේ වෙනකන් ලියපු මටම කියා පරිගණකයක් මිලදී ගන්න පෙර කාලය, දෙවැන්න තමයි ඉන් පසු කාලය, තෙවැන්න තමයි අන්‍තර්ජාල සබඳතාව ගත්තාට පසු කාලය.
මගේ පරිගණකය ගත්තේ 2006/06/01 දින (අපරාදේ.. 06-06-06 ගැන කලිං හිතුන නං 6 වෙනිද ගන්නවා!:P). මම මේ පරිගණකයට දාලා තියන නම තමයි “hal597″. මේ නම හැදුනු හැටිත් පොඩි කතාවක්.
ඔයාල කියවල තියෙද ආතර් චාල්ස් ක්‍ලාක් මහත්තයගෙ 2001,2010, 2061 සහ 3001 කියන පොත්? ඒ කතා පෙළේ සඳහන් වෙන ඩිස්කවරි යානාවේ කෘත්‍රීම බුද්ධිය සහිත පරිගණකය තමයි “HAL 9000“, එයාට පෘථිවියේ තව සහෝදරියකුත් ඉන්නවා “SAL 9000” කියලා. ඉතිං ඔන්න ඔතනින් තමයි මගේ පරිගණකයේ නමේ “hal” කෑල්ල ආවේ. එතකොට 597, ඒක තමයි මගේ පරිගණකයේ වේගය, 597MHz.
අන්තර්ජාල සබඳතාව ගන්න කලිං මම වින්ඩෝස් එක්ක එක එක සෙල්ලං දදා හිටියා. කරපු වැදගත් දෙයක් නං මතක නෑ. ඒත් ගොඩක් මෘදුකාංග ස්ථාපනේ කර කර ඒව පාවිච්චි කරන්න උත්සාහ කරල බලනවා, ඒ වගේ අනං මනං තමයි. මේ කාලය ගොඩක් කල් තිබුනේ නෑ. මොකද CDMA පරිගණකයකින් අන්තර්ජාලයට සම්බන්ධවෙන්න පටං ගත්ත නිසා. ඊට පස්සේ ගැන ලියන්න තවම කල් මදි.


ado patta buddy..hehe sunil uncle paw.hikiz ubawath wadagene giyane..hehe maxxa one..
Posted by Dil on October 18th, 2009.
@Dil: Thank you mate!
Posted by budhajeewa on October 18th, 2009.
අපි දෙන්නගෙම කතාව එක වගේනෙ බං
Posted by Anonymous on October 19th, 2009.
@සුපුන් සුදාරක: ඉතිං ලියපං කො බං!
Posted by budhajeewa on October 19th, 2009.
එළ කොම්පියුටර් කතාවක්නේ, කොල්ල එහෙනං 2 වසරේ ඉදන්ම කොම්පුයටර් එක්කයි ඉදල තියෙන්නෙ
Posted by Thilina on October 19th, 2009.
@බුධා: හික්. ආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ බං. මේකෙම වචන පොඩ්ඩක් එහා මෙහා කරානං හරි.
Posted by Anonymous on October 19th, 2009.
මමත් ඉස්සෙල්ලම කොම්පුටරේ කරපු වැඩේ මයි ඔයත් කරල තියෙන්නේ
Display Properties හැදුව පස්සෙ ඒ වොල්පේපර් එක කැත නිසා පෙන්ට් වලින් පොඩි චිත්‍රයක් (මාලුටැංකියක් )ඇදල ඩෙක්සටොප් එකට දාගත්ත මර ෆන් එතකොට
Posted by උෂාන් on October 19th, 2009.
මම නම් මුලින්ම අපේ අක්කාගේ කොම්පියුටර් එකෙන් පෙන්ට් වලින් චිත්‍රයක් ඇන්ද එක තමා කලේ.
Posted by malee_msg on October 19th, 2009.
@Thilina: දෙක වසර කියල කිවුවට, ඒ දවස් වල නිතර නිතර භාවිතා කරන්න හම්බ වුනේ නෑ. මටම කියල කොම්පීටර්රෙකක් ගත්තම තමයි මේක ඇඟේ කෑල්ලක් වෙන සයිස්සෙකට ආවේ.
@සුපුන් සුදාරක: එහෙම කියල හරියන්නෑ, ලියහං ලියහං!
@උෂාන්: මට ඒ දවස් වල අඳින්න තේරුමක් නං තිබ්බෙ නෑ.
@malee_msg: ඒකත් හොඳයි. ඒත් මවුස් එක පාවිච්චි කරලා අඳින එක හරියට කරන්න බැරි නිසා මම ඇඳපුව නං මහ විකාර තමයි ආවේ. ඊට වඩා හොඳයි මම ටයිප් කරන්න පුරුදු වුනා. දැං දෙයියනේ කියල ටිකක් විතර වේගෙං ටයිප් කරතහැකි.
Posted by budhajeewa on October 19th, 2009.
හික් හී
එළ කතාව
මටත් ලියන්න හිතුනා මගෙ කතාව
Posted by Anonymous on October 19th, 2009.
@මනුශාන්: මරු මචං, ලියමු ලියමු!
Posted by budhajeewa on October 19th, 2009.
මට හිතාගත්තෑකි සුනිල් අංකල්ට කොහො හිතේන්න අැද්දකිය.හිවපු ගමන් මමත් සුනිල් අංකල් වගේ තමා.එ අපෙ මාමගෙ පෙඩි එකා අාපුවාම.අප්පා උට තියන ?න
Posted by dushan on October 19th, 2009.
අද ස්ටැයිල් එක මරු.
කතා රසය උපරිමයි.
මමත් කඩදාසි වල source code ලිව්ව කාලයක් තිබුණා. හවසට යනව අම්බලන්ගොඩ මහජන පුස්තකාලයට. ගිහින් VB source code ලියාගෙන එනව. ඊළඟ දවසෙ ඉස්කෝලෙ ගියාම වෙලාවක් තිබුණොත් compile කරල බලනව. දැන් නම් මතක් වෙනකොටත් ආසයි.
Posted by Anonymous on October 19th, 2009.
@dushan: එහෙම තමයි පොඩි එවුං, නැද්ද?
@ශාකුන්තල: තැංකූ වේවා!
හැමදාම වෙබ් ඇප්‍ලිකේෂන් ලිවුවට මටත් මේ ස්ටැයිල්ලෙකෙං ලියත හැකි, බට් ලියන්න දේවල් තමයි නැත්තේ!
මම හිතන්නේ නිකංම කොම්පූටරේ කෝඩ් ලියල පටං ගන්නවට වඩා කොලේ ලියපු එකේ පොඩි රසයක් තිබ්බා, නිකං මේ ලුණු රහ වගේ එකක්!
Posted by budhajeewa on October 19th, 2009.
i wish you for your ability & encourage about ICT & computer application.
Posted by vvdharmawardana on October 27th, 2009.
@vvdharmawardana: Thank you very much sir! I have the idea of writing about our ICT life in the college, one day soon.
Posted by budhajeewa on October 27th, 2009.
ඇත්තටම රස කථාවක්….
මේක කියවල මටත් හිතුන එදා සිට අද දක්වා මගේ කොමා සහ මගේ කථාව ගැන ලියන්න….
Posted by දර්ශන4it on October 31st, 2009.
[...] එයා ගැන හැඳින්වීමක් මම කලිං ලියපු “පරිගණකයයි මමයි.” කියන ලිපියෙත් දාල තිබ්බා. ඒ ටික මම [...]
Posted by බුධාජීවගේ ලියමන | hal597 න් hal3000 ට. on November 28th, 2009.