මෙම ලිපියේ අරමුණ මෙරට බිහි වූ හා මෙරට ජනප්රිය වූ විදේශ ගීත නිර්මාණ පිළිබද මට සමාජයෙන් අසන්නට දකින්නට ලැබුනු ප්රතිචාර පිළිබදව මගේ දැක්ම ඉදිරිපත් කිරීමයි. ඇතැම්විට මේ හරහා ගීතය පිළිබදව මගේ අදහස් ද හෙළි වෙනවා වෙන්නට පුළුවන්.
මා ගීතය දෙස බලන්නේ ඒ පිළිබදව කිසිදු ශාස්ත්රීය දැනුමක් නොමැති, අප සමාජයේ අසන්නට දකින්නට ලැබෙන හා අන්තර්ජාලයෙන් බාගන්නා ගීත නිර්මාණ රසවිදින අයෙකු ලෙස පමණක් බව සැලකිය යුතුයි. මෙම ලිපියට කිසිදු ශාස්ත්රීය පදනමක් නොමැති අතර, මේ මාගේ පෞද්ගලික අදහස් බව සැලකිය යුතුය. යම් ආකාරයකින් මෙය කියවන අයෙකු සමග මේ සම්බන්ධව සංවාදයක් ගොඩනගා ගැනීමට අවශ්ය නම්, ඒ සදහා මම පූර්ණ සහයෝගය පළ කරමි.
———————————————————–
ඇතමුන් ශ්රී ලංකාව තුළ බිහි වන නව ගීත නිර්මාණ විවේචනය කරති, විදේශ රටවල සම්භවය ලැබූ ගීත නිර්මාණ ලංකාවේ ජනප්රිය වීම ප්රතික්ෂේප කරන අතර, එම ගීත සදහා රුචි කමක් දක්වන පිරිස දෝෂ දර්ෂණයට බදුන් කරති.
01. ඔවුන් ගේ ප්රධාන තර්කය වන්නේ එම ගීත නිර්මාණ තුළ කිසිදු අර්ථයක් නොමැති බවයි.
* සත්ය වශයෙන්ම ගීත නිර්මාණයකට තේරුමක් තිබිය යුතු ද ? එය එසේනම්, අප සිංහල (හෝ තමන්ට වැටහෙන භාෂාවක) ගීත හැර අනෙකුත් ගීත අසන්නේ කුමකට ද ? එමෙන්ම වචන රහිත සංගීත නිර්මාණයකින් එසේනම් බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද ?
මේ පිළිබදව මාගේ අදහස නම් කිසිදු ගීත නිර්මාණයකට තේරුමක් තිබීම, එය මනා ගීතයක් වීමට අවශ්ය සුදුසු කමක් නොවේය යන්නයි. තේරුමක් තිබුනාට කමක් නැත, එහෙත් එය අත්යවශ්යද නැත. මන්ද අප ගීතයකින් බලාපොරොත්තු වන්නේ අපගේ සවන පිනවීම පමණක් බැවිනි. අපහට සමාජය වෙත යම් පණිවුඩයක් අවවාදයක් ලබා දීමට අවශ්ය නම් ඒ සදහා පොත් පත් ප්රයෝජනයට ගත හැක. ගීතද ඒ සදහා ප්රයෝජනයට ගැනීමේ කිසිදු බාධාවක් නොමැති නමුත්, සියළුම ගීත තුළ අර්ථයක් අන්තර්ගත විය යුතු යැයි කියා දෙයක් නොමැත.
02. මෙවන් ගීත දෝෂ දර්ශනයට බදුන් කරන පුද්ගලයන් ඉදිරිපත් කරන තවත් කර්කයක් වන්නේ, එකී ගීත තුළ සංගීතමය රසයක් පවා දක්නට නොමැති බවයි.
* කවුරුන් කෙසේ කීවද අපට මේ ලෝකය තුළ තනිව දිවි ගෙවිය නොහැකිය. අන්තර්ජාලය වැනි මාධ්ය හරහා දිනෙන් දිනම නොව තත්පරයක් පාසා අපි ලෝකයේ විවිධ රටවල් හා සංස්කෘතීන් සමග අදහස් හුවමාරු කර ගනිමු, ඔවුන්ගේ ගීත නිර්මාණ බාගනිමු, ඒවා කනට මිහිරි නම් මිතුරන් සමගද බෙදා හදා ගන්නෙමු. මෙවන් ආකාරයට ඒ ඒ රටවල ගීත රටාවන් තවත් රටක ගීත නිර්මාණ කෙරෙහි බලපෑම් කරයි.
ඉතින්, විවිධ සංස්කෘතීන් තුළින් ජන්මය ලැබූ ගීත, විවිධාකාර ස්වභාවයන්ගෙන් යුක්ත වන බව තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ.
එය පැහැදිළි කරගැනීම සදහා වැඩි දුර යා යුතු නැත, ශ්රී ලංකාව තුළින්ම මේ සදහා උදාහරණ සපයා ගත හැක. එනම් D-Tap ලාගේ ගීත ශෛලිය BnS ට නැත BnS ගේ ගීත ශෛලිය D-Tap ලාට නොමැත, එහෙත් රොමේෂ් N ලක්ෂාන්ට ඇත්තේ වෙනත්ම රටාවකි, මෙම කලා කරුවන් විවිධ පැති ඔස්සේ එකිනෙකාගෙන් වෙනස් වන අතර තවත් පැති ඔස්සේ එකිනෙකාට සමාන වෙති, එය ඒ ඒ කලා කරුවන්ටද ඒ ඒ ගීත නිර්මාණයටද අද්විතීය (unique) වෙයි.
එසේ නම්, වෙනත් සංස්කෘතියක ප්රභවය ලැබූ ගීතයක් මුල් අවස්ථා කිහිපයේදී කණට නුහුරු වීම පුදුමයක් නොවේ, නමුත් එම නිර්මාණයට දෙතුන් වරක් සවන්දීමෙන් එහි ඇති ගුණාත්මක භාවයන් පිළිබදව අවබෝධයක් ලබා ගැනීම හෝ අඩුම තරමේ ඒ සදහා උත්සාහ කිරීම නිකරුණේ ඒ ගීත සදහා හා එම ගීතවල ශ්රී ලාංකේය රසිකයන්ට බැන වදිනවාට වඩා සුදුසු නොවේද ?
03. විදේශීය ගීත නිර්මාණ ජනප්රිය වීමෙන් දේශීය සංස්කෘතිය විනාශවන බවද ඔවුන්ගේ අදහසයි.
* ඉහත 02. හි පිළිතුරෙහි සදහන් කළ ලෙසින්ම විශ්ව ගම්මානයේ අපට තබා කිසිද රටකට තනිවිය නොහැක. ඉතින් එක් රටක ගීත තවෙකක් තුළ ජනප්රිය වීම නැවැත්වීම කළ හැකි දෙයක් නොවේ.
අනෙක, මැනවින් ස්ථාපිත වූ සංස්කෘතියක් ඇති රටක සංස්කාතය අතුගා දැමීමට ගීත වලට හැකියාවක් ලැබෙන්නේ කෙසේද ? එසේ හැකි වනවා නම් එයින් කියැවෙන්නේ එකී සංස්කෘතිය තවදුරටත් අදාළ දේශයේ ජනයා විසින් නොපිළිගන්නා බව නොවේද ? එය ගීත නිර්මාණ වලට තනිවම කළ හැකිය යන්න තර්කානුකූල ප්රකාශයක් ද ?
යම් හෙයකින් අදාළ රටේ සංස්කෘතිය විසින් පුරවැසියන්ගේ මනස නිවැරදි ලෙස හැඩගස්වා තිබේ නම්, හුදු ගීත නිර්මාණයකට රටක සංස්කෘතිය විනාශ කළ හැකි වන්නේ නැත.