Taxila Collegeගෙදර කස්ටියම පහුගිය බ්‍රහස්පතින්දා (30) පොඩි වැඩකට කොළඹ ගොහිල්ලා නතර උනේ පානදුරේ අපේ බාප්පලැයි ගෙදර. පහු වෙනිදාම ආපහු එන්න ලෑස්ති උනත් එහේ කස්ටියගෙං කරදරේ සිකුරාදත් එහේ ඉඳලා සෙනසුරාදම ආපහු යන්ටෙයි කියලා. ඉතිං ඔන්න ඔහේ අපිත් නැවතුනා.

එනිවේ, අපේ බාප්පගෙ පුතණ්ඩියා හෙවත් මගේ මලයාලැයි ඉස්කෝලෙ – ඒ කියන්නෙ හොරණ තක්‍ෂිලාවෙ – ඒ දවස්ටිකේ පොඩි ප්‍රදර්ශනයක් සංවිධානේ කොරල තියනවැයි කියල මෑන්ස් කීවා. ඕක සංවිධානය කරල තියනවැයි කියන්නේ පහුගිය දවසෙ ඒ ඉස්කෝලෙ පැවැත්තුනු කන්නංගර සමරු උත්සවේට සමගාමීවලු. ඉතිං සිකුරාද දවස ගෙදෙට්ට වෙලා විනාස කොරන්න බැරි නිසා මලයයි මායි ලේස්ති උනා ඔය කියන ප්‍රදර්සනේ බලල එහෙම එන්ට.

බාප්පලැයි ගෙදර තියෙන්නේ පානදුර – රත්නපුර පාරේ, බණ්ඩාරගමට මෙහා. ඉතිං සිකුරාද උදේ පාන්දර එකොළහට විතර රත්නපුර බස්සෙහෙක නැගලා හොරණට ගිහිං මලයලැයි ඉස්කෝලෙට ගියා.

පුදර්සනේ බලන්න ටිකට් එකක් ගන්නෙ නැතුව – ඌට – පුරුදු පොට් එකකිං තාප්පෙං පනිමු කියලා මලයා කීවත්, මොකක්හරි පෙලේස් එකකට යන ඉස්සරෝම දවසේ තාප්පෙං පනින එක නිකං මෙව්ව මෙව්ව වගේ නිසා රුපියල් හැත්තෑවක් දීලා ටිකැට්ටුවක් අරගෙන ඉස්කෝලෙ ඇතුලට ගියා.

ඇතුල් වෙන තැනම චූට්ටං නංගියෙක් ඉඳගෙන සිතියමක් බෙදනවා. ඒක බලාගෙන තමා ප්‍රදර්සන කුටි වලට යන්න තියෙන්නේ. නංගිට “තැංකූ!” කියලා ඒකත් අරගෙන ඇතුලට ගියා.

ඉස්කෝලෙ හොඳයි, නරක නෑ. අපි අර දුන්නු සිතියම බලාගෙන ප්‍රදර්සන කුටි එකිං එකට ගියා. හනෙ හෆ්ෆේ, ඒ ඉස්කෝලෙට ගියාමයි තේරුනේ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙකට යාම මහාම මහා පාප කරුමයක් කියලා. රියලි බ්‍රෝස්, වී ම්ස් අ හෙල් ලොට් ඔෆ් අ තිංග්ස්!

ජනගහනේ වැඩි වෙච්ච ඒවා මග හැර හැර, අපිට හොඳයි කියල හිතෙන ඒවා – ප්‍රදර්සන කුටි! 😉 – බල බල අපි ඉතිං හෙමිහිට ඉදිරියට ඇදුනා.

ඔයිං එක ප්‍රදර්සන කුටියක තිබුනා දැක්ක ගමං “මේක නං බ්ලොගේ දැමිය යුතුමයි!” කියලා හිතුනු පොඩි වැඩක්!

ඔන්න දැං සීරියස් මෝඩ්… ඕකේ?!

දුම්රිය මාර්ගයක ඇති සියළුම දුම්රිය ස්ථානයන්හි සියළුම දුම්රිය නවත්වනු නොලැබේ. සීඝ්‍රගාමී දුම්රියක් වැන්නකට යමෙකුට ගොඩවීමට අවැසි නම්, එම දුම්රියක් නවතන දුම්රිය ස්ථානයක් කරා ගොස්, එයට ගොඩ වීමට වේ. මක් නිසාද යත්, අතරමග හමුවන කුඩා දුම්රිය ස්ථානවල එම දුම්රිය නොනවත්වන බැවිනි.

කුඩා දුම්රිය ස්ථානයක් ආසන්නයේ සිටින අයෙකුට යම් දුම්රියකට ගොඩවීම සඳහා ප්‍රධාන දුම්රිය ස්ථානයක් වෙත ගමන් කිරීමට සිදුවීම අති විශාල කාල නාස්තියකි.

මෙයට විසඳුමක් ලෙස හොරණ තක්‍ෂිලා විද්‍යාලයීය විද්‍යා-ගණිත අංශය යෝජනා කරන්නේ එවන් කුඩා දුම්රිය ස්ථාන සඳහා, දුම්රිය ගමන් කරනා ප්‍රවේගයෙන්ම චලනය වන පටියකින් වේදිකාවක් නිර්මාණය කිරීමයි. ප්‍රවේග සමාන විට සාපේක්‍ෂ චලිතය ශුන්‍ය වන බැවින්, චලනය වන වේදිකාවේ සිටින්නන්ට නිසල දුම්රියකට ගොඩවන සේ චලනය වන දුම්රියට ගොඩ විය හැකිය.

බැක් ටු නෝමල්…

චලනය වන වේදිකාවක් කියන එක එච්චර සාර්ථක යෙදුමක් නෙවෙයි, මොකද හිටගෙන ඉන්න අයගෙ පාදයට වේදිකාවේ ප්‍රවේගය එකවරම ලැබුනට, හිසට එය නොලැබෙන නිසා, වේදිකාව චලනය වන්නට පටංගත්තු වහාම එහි විශේෂ ප්‍රතිරෝධී ඉරියව්වකින් තොරව සිටිනා අය අසමතුලිත වීම සිදු වන නිසා.

මේ සඳහා අපිට යොදාගන්න පුළුවන් දුම්රිය හා සමාන්තර චලනය විය හැකි, සංවෘත්ත කාමරයක් වැනි දෙයක්. මෙතැනදිත් ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කර තිබූ සාපේක්‍ෂ ප්‍රවේගය ශුන්‍ය කිරීම යන සිද්ධාන්තය භාවිතයට ගැනෙනවා. සංවෘත්ත කාමරයක වාසිය වන්නේ, පාදයට මෙන්ම අතින් අල්ලාගන්නා ආධාරක හරහා සිරුරේ ඉහළ කොටසටත් සැනින් ප්‍රවේගය සම්ප්‍රේෂණය වීම සිදුවීම හා, බාහිර පරිසරයෙන් වෙන්වීම තුලින් භාවිතා කරන්නන්ට දැනෙන අපහසුතා මග හැරීම.

අන්තිමට වැඩේ පේන්නේ මෙහෙමයි:

  • ටිකක් දිග වේදිකාවක් තියනවා.
  • ඊළඟට එන කෝච්චියේ යන්න ඉන්න අය එය වේදිකාවේ තියන, රේල් පාරට සමාන්තරව චලනය වන පොඩි කාමරයක් වගේ එකකට නගිනවා.
  • කෝච්චිය දුමිරිය පොලට ආසන්න වන විට, මේ කාමරයත් ඉදිරියට චලනය වෙන්න පටං අරං කොච්චියෙයි කාමරෙයි ප්‍රවේග සමාන කරගන්නවා.
  • සමාන උනාට පස්සේ ඒ දෙක අතරේ දොරක් ඇරිලා කාමරයේ අය කෝච්චියට යනවා.
  • දොර වැහෙනවා.
  • කාමරේ හෙමීට ස්ලෝ වෙලා නවතිනවා.
  • කෝච්චිය යනවා.

මේ ක්‍රමේට කෝච්චිය නවත්තන්නෙත් නෑ, මිනිස්සුත් නැගලා!

UPDATE 2010-11-29:

අපේ බිංකු සහෝදරයා මේ concept එක demonstrate කරන YouTube video එකක් හොයාගෙන ඒක tweet කළා.

http://twitter.com/Binku/status/9100707747602432

මෙන්න ඒ විඩියෝ එක: