අපි ගොඩක් දෙනෙක් බයිබලයේ සඳහන් වන “පොරොන්‍දු දේශය” ගැන කතාව කියවල හරි අහල හරි තිබ්බට කවදා හරි අහල තිබුනද “තහනමේ දේශය” කියල එකක් ගැන ? මම හිතන්නෙ නෑ. නමින්ම අපිට පොඩි අප්‍රසන්න ගතියක් ඇති වෙනව නේද ? නමුත් කණගාටුදායක කාරණය කියන්නෙ සාහිත්‍යගත “පොරොන්‍දු දේශය” මෙන් නොව මේ කියන “තහනමේ දේශය” මිහි මත තියනවා නොහොත් නිර්මාණය කරමින් පවතිනවා.

වැඩි වැල් වටාරම් නැතුව කීවොත්, මම කියන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා සමාජයට මහත් පිළිලයක් වී ඇති වුවමනාවටත් වඩා යම් යම් දේ තහනම් කිරීමේ ප්‍රතිපත්තියයි. ඇත්තටම තහනම් කිරීම යනු මම දකින්නේ බංකොලොත් දේශපාලනඥයින් විසින් ස්‍වකීය නොහැකියාව වසාගන්නට යොදාගන්නා කමකට නැති ආයුධයක් ලෙස. කණගාටුව වන්නේ මෙකී අදූරදර්ශී ක්‍රියා නිසා අපහසුතාවයට පත් වන්නේ සමාජයම වීමයි.

උදාහරණයක් ලෙස පසුගිය දිනක පනවන ලද “දුම්කොල හා මධ්‍යසාර පනත” හඳුන්වන්න පුළුවන්. මෙය ක්‍රියාත්මක වුනේ ඉතාම විසුළු සහගත ආකාරයකටයි. ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය තහනම් කිරීම වැනි ධනාත්මක අංග එහි ඇතුලත් වුනු අතරම, රූපවාහිනියේ විකාශනය වන වීඩියෝ වල ඇති දුම් බොන සහ අරක්කු බොන (“මත්පැන් පානය” කියල දැම්මනං “ලස්සනයි” කියල හිතුන ද ? නෑ එහෙම ඕන නෑ, මෙහෙම හොඳයි !) දර්ශන අපැහැදැළි කොට විකාශනය කිරීම වැනි විකාර අංගද එහි අඩංගු වුනා. දැන් ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය නොකිරීම, – ඉතාම කලාතුරකින් – බසයේ පහළින් ගමන්ගන්නා අයගේ හිසට නාකි මුත්තලා බුලත් කෙල ගැසීම, කුඩු ගැසීම පාලනය වීම කෙසේ වුවත්, රූපවාහිනියේ දුම්කොල හා මධ්‍යසාර නීතය නම් ක්‍රියාත්මකයි. නමුත් එයත් දැන් නෑ වගේ.

එතනදී සරල තර්කය තමයි “ළමයි” රූපවාහිනියේ දුම් බොනවා දැක්කොත් දුම් බොනවා, අරක්කු බොනවා දැක්කොත් අරක්කු බොනවා යන මන්‍ද බුද්ධික අදහස. එතැනදී ආණ්ඩුව වැරදි දෙකක් කරලා තියනවා.

  • ලංකාව “ළමයින්ගේ” රටක් ලෙස උපකල්පනය කිරීම.
  • “ළමයි”න්ට පෙනෙන සෑම දේම කරනවා සමගම “ළමයි”න්ට ඕවා පේන්නේ රූපවාහිනියෙන්ම පමණක් යයි සිතීම.

මගේ අදහස ඕනෑම දිනක, ඕනෑම වේලාවක අරක්කු සහ සිගරට් මිලදී ගැනීමට හැකියාව ලබා දිය යුතු අතර, ඒ මිලදීගැනීමේ හැකියාවට හා ප්‍රවාහනය කිරීමට කිසිදු බාධාවක් තිබිය යුතු නැත. නමුත් කිසිදු වේලාවක ප්‍රසිද්ධියේ දුම් හෝ අරක්කු බී හෝ බොමින් සිටිය නොයුතු අතර සිටීම දැඩි දඬුවම් ලබන වරදවල් බවට පත් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සිදුවන්නේ මෙහි විලෝමය වන අතර එයින් සිදුවන්නේ නීතියට බයේ සිටීම හෝ විකල්ප මාර්ග භාවිතා කිරීමට මිනිසුන් පෙළඹීමයි.

මේ දින වල කතා බවට ලක් කෙරෙන තවත් සිද්ධියක් වනුයේ යම් පාසල් සිසුවියක් සතුව තිබූ ජංගම දුරකතනයක් පාසලට හසුවීම නිසා එකී සිසුවිය සියදිවි හානිකරගත් සිද්ධියකි. ඇතමුන් සියල්ල දත්තවුන් සේ යම් යම් චෝදනා එම සිසුවියට එල්ළ කළද, පවත්නා ඊනියා සුචරිතවාදී සංස්කෘතික මාෆියාවේ පීඩනය හමුවේ දිවි තොරකරගැන්ම හැරෙන්නට වෙනත් විසඳුමක් ඇයට නොදෙන්නට සූක්‍ෂම වූ විකාරරූපී ශ්‍රී ලාංකික සමාජයට මාගේ පිළිකුල ප්‍රකාශ කරමි.

එය කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් තුල ජංගම දුරකතන භාවිතය තහනම් කිරීමට අධ්‍යාපනය බාර ඇමතිවරයා ක්‍රියා කොට ඇත. බොහෝමයක් පාසල් තුල ජංගම දුරකතන තහනම ක්‍රියාත්මක වූයේ මින් බොහෝ කලකට පෙර බව ඔහු නොදන්නවා දැයි නොදන්නා නමුත්, එම “නීතිය” ද නිවැරදිව ක්‍රියාත්මක නොවනා බවයි ඉහතාකාර සිද්ධි වලින් පෙනී යන්නේ. මන්‍ද නීති ක්‍රියාත්මක වන්නේ එයට භාජනය වන්නාගේ කැමැත්තෙන් නොව ඔහු මත බලෙන් පැටවූ එකක් ලෙස බැවිනි. සිදු විය යුතුව තිබුනේ තාක්‍ෂණය නැමති ආයුධයේ යහපත් අයහපත් භාවිතාවන් ගැන ඔවුනට අවබෝධයක් ලබා දීමයි. එවිට පාසල් තුල ජංගම දුරකතන භාවිතයට නීතිමය අවසරයක්ම දුන්නද ඒවා යම් යම් කාර්යයන් සඳහා නොගැළපෙන ස්ථාන වලදී යොදා නොගැනෙනවා ඇත.

මේ සමගම පැනවුනු තවත් තහනමක් වූයේ වැඩිහිටියන්ට පමණයි පමණක් ලේබලය යටතේ ඇති චිත්‍රපට තහනමි කිරීමයි. මේ සඳහාද යොදාගත යුත්තේ ඉහත දුම් සහ අරක්කු පානය ගැන මා විසින් දක්වා ඇති අදහසමය. සෙසු සමාජයට හානියක් නොවේ නම්, නැරඹිමට ඇවැසි අයවළුන් ඒවා නැරඹීමේ ඇති වරද කුමක්ද ?

ඉහත සඳහන් කරන ලද සිසුවියගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට නිල්වීඩියෝ කතාවක් සම්බන්ධ කෙරුමට කටකතා-කාරයෝ දඟලති. එය අළුයම කෙල පිඬක් ලෙස බැහැර කරන අතර, ඇත්තෙන්ම එවැන්නක් නැරඹුවේයැයි එකී සිසුවියට චෝදනා කළ හැකිද ? චෝදනා කිරීමට එය වරදක් ද ? ඊනියා සුචරිතවාදී සංස්කෘතික කාරයන්ට නම් අවුරුදු 14 – 15 සිසුවියක් එවන් වීඩියෝ නරඹනවා යැයි ඇසීම ෆුල් හොල්මං නිව්ස් එකක් වුවද මිනිස් මනස සහ මිනිසා නම් සමාජ සත්වයා ගැන දන්නා අයවළුන්ට එය අමුත්තක් නොවනු ඇත.

තහනමකින් සිදු කළ හැකි උපරිමය රබර්බෝල වතුරේ ඔබා අත රිදෙන තුරු හෝ අමතක වන තුරු අල්ලාගෙන සිටීම පමණක් බව කීමට කැමැත්තෙමි.