අපේ නැන්දිගෙ වැඩකට දැං අවුරුද්දක් විතර තිස්සේ පිටු දෙසීයක විතර පොතක් ටයිප් කරනවා. කීප සැරයක්ම ඕක ප්‍රින්ට් කරලා වැරදි හදාගෙන ඇවිල්ලා දැන් අන්තිමටම පිටපත් තුනක් ගන්න ඕන.

එකක පිටු දෙසීය ගානේ පිටපත් තුනක් පිටු හයසීයක්! මගේ ගාව ප්‍රින්ටරයක් තිබ්බේ නැති නිසා මෙච්චර කල් කලේ මම ටයිප් කරලා, PDF කරලා වෙන තැනකට යවනවා, එතනින් තමයි ප්‍රින්ට් කරන්නේ.

PDF කරලා යවන්න හේතුව තමයි සිංහල යුනිකේතය එතන ඉන්න කස්ටිය අඳුරන්නේ නැති වීම. එහෙම යැව්වාම උං කියනවා “මල්ලි මේක සිංහලෙන් ගහන්නෙපැයි?” කියලා! PDF කියන්නේ මේ වගේ වෙලාවට සිරාවටම ප්‍රයෝජනවත් තාක්‍ෂණයක්. සිංහල යුනිකේතේ ඒ පරිගණක වල ස්ථාපනේ කරන්න ඕනත් නෑ, අකුරු රටා ස්ථාපනේ කරන්න ඕනත් නෑ, ඕන දේස දීපංකරේක – PDF කියවනයක් තියනවනං – PDF ගොනු වැඩ, නිකං රවුටරේ වගේ!

Share

ඉතිං ඔය කියපු පිටු හයසිය ගාන වෙන තැනකිං ගැහැව්වා නං ප්‍රින්ටරයක් ගන්න සල්ලි වලටත් වඩා ඒකට යනවා!

හේතුව තමයි මෙහේ එකාලා එක කොලයක් ප්‍රින්ට් කරන්න රු.20ක් විතර ගන්නවා! එතකොට රු.20 ඒවා 600ක් රු.12,000යි! ප්‍රින්ටර් දෙකක් ගන්න සල්ලි!

ඔය සෙල්ලම හරියන්නෙ නැති නිසා ඊයේ(1) උදේ පාන්දර දහයට විතර මායි තාත්තයි මාතර ගියා ප්‍රින්ටරයක් අරගෙන මිස ආපහු එන්නෙ නෑ නෑමයි කියලා!

“කතා දෙකක් නෑ මේ බුධා කෙලින්ම යන්නෙ PC House එකට!” (එය කිරිබත් කැබැල්ලක් දී ප්‍රචාරය කළ දැන්වීමකි! විස්තර පසුවට.)

අපි ඇතුලට යනකොට ඒක දුමෙන් වැහිලා, මම එන දවසෙම මේක ගිනි අරගෙනවත්දැ කියල වටපිට බලනකොට PC House එකේ කස්ටියම එකතු වෙලා තහඩුවක් උඩ තුනක් තියලා… මේ මේ… තහඩුවක් උඩ ගඩොල් තුනක් තියලා ඒක උඩ මුට්ටියක් තියලා අලුත් අවුරුද්දට කිරි උතුරුවනවා!

හුළං එළියට හමන්නෙත්නෑ ඇතුලෙ ඉන්න කස්ටියට රජ සැප. මොනවද මන් දන්නෙ නෑ ඒ පත්තු කරපු දර, ඇස් වලින් කඳුලු එන සයිස් සැරයි දුම. කොහොමහරි ඒකත් ඉවසං වාඩි වෙලා හිටියා. පස්සෙ එතන අක්කා ඇවිල්ලා කියනවා “එන්න සර්, කිරිබත් එකක් කාලම ඉමු!” කියලා. අඩේ, පට්ට අවුරුද්ද, උදේ පාන්දරම “සර්” කියලත් අහගත්තා!

බෑ කියන්න හොඳ නැති හින්දා ගිහිල්ලා කිරිබත් කෑල්ලක් බෙදාගත්තා “අලුත් අවුරුද්දෙම බිස්නස් සාර්ථක වේවා!” කියලා මැනේජර් අයියට, ඒක බඩට ඔබාගත්තා සම්බලුත් එක්ක, පස්සේ වතුරෙකක් බීවා!

ඊළඟට ගනුදෙනු කිරීම. ඕං මම තමයි PC House මාතර ශාඛාවේ 2010 වසර සඳහා පළමු පාරිභෝගිකයා! බලමු 2010 ඉවර වෙනකොට මේ බ්‍රාන්ච් එක වහන්නෙ නැතිව ඉන්න සයිස් එකටවත් මේක බේරගන්න පුළුවන් වෙයිද කියලා!

Techකතා Google Group එකේ Printer for home use කියන ත්‍රෙඩ් එකට ආපු තොරතුරු ඔක්කොම මගෙ කුඩා මොළේ දමාගෙන ගිහිල්ලා පොර සේ ටෝක දුන්නා. ටෝක දීලා ගත්තා HP DeskJet D1560 කියන ප්‍රින්ටරේ. ඕකෙ තියන introductory catridge එකේ තියන තින්ත පිටු 600ක් ගහන්න මදි වෙන නිසා රිෆිල් කිට් එකකුත් ගත්තා. ප්‍රින්ටරේ රු.4500යි රිෆිල් කිට් එක රු.1400යි.

පස්සෙ ගෙදර ඇවිත් අර පිටු 600 ඉක්මනට ප්‍රින්ට් කරන්න ඕන නිසා මේක එකලස් කරන්න බලනකොට USB කේබල් එකක් නෑ! සෙටප් ගයිඩ් එකේ කොනක තියනවා USB කේබල් එකක් පෙට්ටිය ඇතුලෙ නැත්තං විකුණන එකාගෙන් ඉල්ලගන්න ලු! යකාගෙ කතාවක් නෙ, කඩේ ඇතුලෙදි කවුද සෙටප් ගයිඩ් කියවන්නෙ? කඩේ එවුං දැනගන්නෙපෑ මේකෙ නැති ඒව දාල දෙන්න!

ඒගමන්ම හැරෙන තැපෑලෙන් කෝල් කලා PC House එකට! “ආ සර් කේබල් එක මේසෙ උඩ තියනවා, දාල දෙන්න අමතක වෙලා!” ලු! අනෙ උගෙ කට, අපි එනකොට එතන තිබ්බ කේබල් එකක් නෑ.

අපේ ගෙදර ඉඳන් මාතර යන්න පැයක් යනවා, මළ පනිනවා! කරන්න දෙයක් නෑ, වැඩේ හදිස්සියි නෙ, ගියා ආපහු කඩේට. මම ගිහිං කිවුවා “උදේ ගෙනිච්ච ප්‍රින්ටර් එකේ USB කේබල් එක දීල තිබ්බෙ නෑ!” කියලා. ඒපාර එතන පොර කියනවා “ආ, දීල තිබ්බෙ නැද්ද?, පොඩ්ඩක් ඉන්න!” කියලා. එහෙම කියලා USB cables තියන පෙට්යක් අරගෙන කේබල් එකක් අරන් දෙනවා, මම ඇහුවෙ නෑ මේසෙ උඩ තියෙන්නෙ ඔතනද කියලා, පවු නෙ!

ඔන්න ඔහොමයි ප්‍රින්ටර් කතා වස්තුව!