ආයිබෝ වේවා!
“හැමදාම මේ මහපොළොව උඩම දුවල හරියන්නෙ නෑ, නගින්න ඕන ගහක් උඩට.” එහෙම හිතපු මම හාවා අයින් කරලා පත් කරගත්තා කෝලෙක්ව මගේ අග්‍ර පුරෝහිත කමට!
මොනව කරන්නද ඉතිං, කරුමෙට ඉඩ දෙන්න වෙලාව ආවම ඒක සක්කරයට තියා උගෙ පුතා වයිමටවත් ඒක නවත්තතන්න බෑ.
“අඩේ…. මුගේ ඔළුවට කවිරුහරි ගහලද? එක වෙලාවක කෝලෙක් ගැන කතා කරනවා, අම්ම මුත්ත කාලෙ අහපු නැති සත්තු! දැන් මේ කරුමයක් ගැන කතා කරනවා!” හිතුනද එහෙම? බයවෙන්න එපා, ඔළුවට ගහපු නොගහපු එක කෙසේවෙතත්, මම මේ පිස්සුවෙං දොඩෝනවා නෙවෙයි!
පරිගණක තාක්‍ෂණේ ගැන පොඩ්ඩක් අවදියෙන් ඉන්න කෙනෙක් නම්, මේ ටික කියනකොට තේරෙනවා ගොනා හැරෙන්නෙ චීස් කෑල්ල දිහාවටද මාළු කෑල්ල දිහාවටද කියන එක. නැද්ද මං අහන්නේ?
සුද්ද සිංහලෙං කීවොත් – සුද්දො කවද්ද අයිසෙ සිංහලෙන් කීවෙ! – මම මේ කියන්න හදන්නේ, මෙගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වන Ubuntu, ඒකේ අළුත්ම සංස්කරණය වන 9.10 හෙවත් Karmic Koala වෙත යාවත්කාල කිරීම ගැන කියන්නයි.
මම ඉතිං මේකට “කරුමේ” කියලා කියන්නේ නමේ තියන “Karmic” කෑල්ල නිසා! 😛
ඊට කලිං කැමති නම් මම 9.04 හෙවත් Jaunty Jackalope වෙත යාවත්කාල කරපු වෙලාවේ ලියපු “හාවාගේ පිටේ සිට ලියමි..” කියන ලිපියත් කියවල ඉන්න.
හරිද, කියෙව්වද පරණ ලිපිය? ආ… හොදයි, නැතත් අවුලක් නෑ! 🙂
කලිං පාර වගේ නෙවෙයි මෙ පාර යාවත්කාල කරන්න හරි දුකක් විඳින්න උනා. Ubuntu ගෙ වරදක් නෙවෙයි, මගේ සුපිරි පරිගණකයේ විශ්වාසනීය භාවයටයි, විදුලිබල මණ්ඩලේ අඛණ්ඩ සේවයටයි පිං සිද්ධ වෙන්න! :X
මේ පාර අළුත් සංස්කරණය නිකුත් වුනේ ඔක්තෝබර් 29 වෙනිදා. ඊට සති කිහිපයකට කලිං ඉඳලා මම Karmic Beta නිකුතුවක් ස්ථාපනේ කරලා තිබ්බා. කරුමේ කියන්නේ 28 හවස වෙනිදා නිකං යකා ගැහුවා වගේ ඒක වැඩ කරන්නේ නැතිව ගියා නේ! හෆෝයි, ඒපාර 9.04 සජීවී තැටියකින් පරිගණකේ පණගන්වලා වැදගත් ගොනු ටික උපස්ථ කරගෙන ආපහු 9.04 ස්ථාපනේ කළා. ඒ කරලා, රෑ හත විතර වෙනකං බලං හිටියා 9.10 නිකුත් වෙනකං. නිකුත් වුනු ගමංම මම මේක යාවත්කාල වෙන්න දැම්මා.
SLT එකේ අධිවේගී සබඳතාවයට පිං සිදුවෙන්න පැය 12ක් වගේ සුළු කාලයකින් – ඒ කියන්නේ 30 වෙනිදා උදේ 8.00 විතර වෙනකං – 700MB ට ආසන්න අවශ්‍ය ගොනු ටික බාගත්තා. බාගෙන ඉවරවෙලා ස්ථාපනේ පටං අරන් විනාඩි 15ක් ගියා විතරයි විදුලි බලයට ඇණයක් හිටියා! :X
“අවුලක් නෑ, ගියපාර ඔහොම වෙලා ස්ථාපනේ ආපහු නැවතුනු තැන ඉඳලා පටං ගත්තා නේ” කියලා හිතමින් විදුලි බලය ආවට පස්සේ පරිගණකේ පණගැන්වුවා. ලස්සනට Ubuntu loading screen එකත් ඇවිල්ලා, මෙන්න ඊළඟට කියනවා, “Read only file system” කියලා මහා දිග හෑල්ලක්. මට පේන්නේ කරන්ට් ගියපු එකෙන් මගේ 10GB මහා හාඩ් ඩිස්ක් රාජයාට බඩු හරිවෙලා වගේ.
“හරි, අවුලක් නෑ, පාටිෂන් ෆෝමැට් කරන්නේ නැතිව ආපහු CD එකෙන් 9.04 ඉන්ස්ටෝල් කරනවා, එතකොට දැනට බාගත්තු ෆයිල්ස් ටික යන්නෙ නෑ නෙ. පස්සෙ ආපහු අප්ග්‍රේඩ් එක කන්ටිනියු කරනවා!” ඔහොම හිතාගෙන ආපහු CD එකෙන් 9.04 ස්ථාපනේ කරන්න පටං ගත්තා. මොන, ඒ ස්ථාපකේටත් බෑ ෆෝමැට් කරන්නැතිව “/” සඳහා වෙන් කරපු පාටිෂන් එකේ ලියන්න.
මොනා කරන්නද, ආපහු 9.04 ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් කරලා, ආපහු මුල ඉඳන් ගොනු ටික බාගත්තා. දවල් එකේ ඉදන් රෑ හතාමාර විතර වෙනකං බෑවා! ඒ වුනාට update-manger යාවත්කාල කිරීම ස්ථාපනේ කරන්නේ නැහැ. බාගෙන ඉවරවෙලා ඔහේ බලං ඉන්නවා. පැකේජ් මැනේජින් සිස්ටම් එකෙත් මොකක්හරි අලයක් වගේ. මේ වගේ බරපතළ වැඩ වලට GUI එක සුවර් නෑ. මොකද GUI front end එකේ හරි දෝසයක් තිබුනොත් ඒක ස්ථාපනේට බලපානවා නේ!
Ctrl+Alt+F1 ගහලා ගියා පළවෙනි ටර්මිනල් එකට. ගිහිල්ලා ඉස්සෙල්ලාම පැකේජස් බෑමෙදි මොකක්හරි අලයක් උනානං හැදියං කියලා
sudo dpkg --configure -a
කළා.
ඊළගට
apt-get dist-upgrade
දැං හරි.
දැං ඔන්න යාවත්කාල කිරීමට අදාළ පැකේජ ස්ථාපනේ වෙනවා. මේ ක්‍රමේ තියන එකම අඩුව තමයි මෙහෙයුම ප්‍රතිශතයක් ලෙස දැනට කොපමණ සම්පූර්ණද කියලා දක්වන්නෙ නැති එක.
ඇති යන්තං, ඕං කොහොම කොහොම හරි අමාරුවෙං කෝලගෙ පිටට පැනගත්තා!
මෙහි තියන පහසුකම් ගැන මම අමුතුවෙන් ලියන්න මහන්සි වෙන එකේ තේරුමක් නැහැ, මොකද විවිධ වෙබ් අඩවිවල දැනටම එය කර ඇති නිසා. නමුත් සිංහල භාෂාව භාවිතා කරන්නන් හැටියට අපිට වැදගත් දෙයක් කියන්නම්.
උබුන්ටු මත නිවැරදිව සිංහල බස පිහිටුවන්න (සිංහල දිස්වීම සහ ලිවීම යන දෙකම) දැන් අපිට අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑ. Ubuntu විසින් මෙතෙක් කල භාවිතා කරපු input method chooser එක වන SCIM වෙනුවට iBUS පාවිච්චි කරන්න පටං අරන් තියනවා. එහි අපිට තියන වැදගත් කම තමයි, සිංහල විජේසේකර (Wijesekara Pre-edit ද ඇතුලුව) යතුරු පුවරුවත් එහි ඇතුලත් වෙනවා. අපිට කරන්න තියෙන්නේ Ubuntu සමග එන විකාර සිංහල ෆොන්ටය ඉවත් කිරීමට /usr/share/fonts/truetype/ කියන නාමාවලියේ ඇති freefonts නාමාවලිය ඉවත් කර දැමීමමත්, එ වෙනුවට “මලිති වෙබ්” වගේ හොද ෆොන්ටයක් ස්ථාපනේ කරගැනීමත් විතරයි.
(වැදගත්: ඇතැම්විට මෙම ලිපියේ සමහර අකුරු සහ/හෝ ඉස්පිළි පාපිළි මගහැරී තිබෙනු ඇති. ඒ Ubuntu 9.10 වල දෝෂයක් නෙවෙයි. මම ඊයේ කීබෝඩ් එක සුද්ද කරලා උඩින් අලුත් පොලිතින් කවරයක් දැම්මා. ටික දවසක් ටයිප් කරනකං මේ පොලිතින් එක ගානට ඇදිල හරියන්නේ නැහැ. ඒ නිසා යතුරු තද කරන එක ටිකක් ආයාසයෙන් කරන්න ඕන. පරණ පුරුද්දට ටයිප් කරනකොට සමහර කීස් වදින්නේ නෑ! :D)
6 responses to “මේක මගේ කරුමේ!”
මට නම් කරදරයක් වුනේ නෑ ඹච්චර යාවත්කාලය පැත්තකින් තියලා මම නම් වෙනම ISO ගොනුවකුක් බාගත්තා.
මට ප්‍රශ්නයක් ආවේ රෙසොලුෂන් වල දැන් එකට වලි කනවා
මමත් පැය 12ක් විතර සුළු කාලයකින් Upgrade කරගත්තා.. 🙂
දැං Sound නෑ.. :/
CD එකකුත් ඉල්ලුවා.. 😉 ඒක ආවහම fresh installation එකකුත් දාන්න ඕනෙ.. 🙂
අපි වගේ සීමා සහිත දත්ත බන්ඩල හිමිකාරයොන්ට අන්තර්ජාලයෙන් upgrade කිරීම ගැන හිතන්නවත් බෑ. ඒ නිසා cd එකක් ඉල්ල ගන්න කියල shiplet එක පැත්තෙ ගියාම කියනවා. කලින් cd අරගෙන තියන නිසා මේ පාර දෙන්න බෑලු upgrade කරගන්නලු. මට මල පැන්නා කතාවට . ඇයි යකෝ මෙච්චර එක එකාට ubuntu තෙල ගහලා මම කියල කීදෙනෙක් නම් ubuntu වලට අරගෙන ඇද්ද? එහෙව් මට මුං cd එකක් දෙන්න බෑ කිව්වනේ. ලබන සතියෙක් දවසක(මට බෝඩිමේ උයන්න නැති දවසක්) කැමපස් එකට ලැප උස්සගෙන ගිහිල්ලා. හවස 6 පනිනකම් ඉඳලා(ලැබ් ටික වහනකම් ඉන්න එපැයි එතකන් මන්දගාමී තමා) කරුම කෝලාගේ DVD එකක් බා ගන්නයි කල්පනාව.
ubuntu live CD එක නම් ඉතිං දෙයියො දුන්න වගේ. ඔක නිසා කී පාරක් නං OS එක ගොඩ දාගෙන ඇද්ද.
මල්ලියා උඹට හොද ලිවීමේ හැකියාවකුත් තියෙනවා . . . . කොම්පූටර් ගැන වගේ ම වෙන කලා නිර්මාණත් කරන්න අදහසක් නැද්ද . . .???
@උදිත ඉසුරංග: ඒතකොට ඉතිං මුල ඉඳන් ස්ථාපනේ කරන්න එපැයි. අනික මෘදුකාංගත් යනවනේ, සැකසුම් විතරයි ඉතිරිවෙන්නේ. ඒකත් වෙන්න /home නාමාවලිය වෙනම පාටිෂන් එකක දාල තියන්න ඕනේ!
@ගයන්ත: ඇයි ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් කරන්නෙ? මගෙ සවුන්ඩ් එකත් එක්කත් 9.10 යුද්ධ ප්‍රකාශ කරල තියෙන්නේ, 10.04 එකේදි වැඩ කරන්නෙ නැති වෙයිද දන්නෙ නෑ!
@රවින්ද: මටත් මේ CD එකක් ගෙන්න ගන්න කියල ගියාම ඔය මැසේජ් එක ආවා. අපේ එවුංගෙ වැඩ කෑල්ලෙ හැටියට ලංකාවට CD එවන එක නවත්තලම දැම්මත් මම නං පුදුම වෙන්නෙ නෑ! LiveCD නං දෙයියො දුන්නු කෝකටත තෛලයක් වගේ තමා නේද?
@දුකා: ලිවීමෙ හැකියාවක්? අනේ මන්ද, ඕව මට බෑ අයියෝ! අනික මම කියල මොන කලා නිර්මාණ කරන්නද? මම කලා නිර්මාණ කරන්න ගත්තොත් සින්ඩිය පාවිච්චි කරන අය මේක අතෑරල යන එක සුවර්! අනිත් එක සයිබර් ලෝකෙ ඇරෙන්න ඇත්ත ලෝකෙ මගෙ අත්දැකීම් එච්චරම රසවත් ඒව නෙවෙන නිසා කවුද ඒව කියවන්නෙ?
[…] ලියපු “හාවාගේ පිටේ සිට ලියමි“, “මේක මගේ කරුමේ” වගේ ලිපි කියවපු නිසා ඔබ දන්නවා ඇති. […]