ස්පොයිලර්ස් තියෙන්න පුළුවං නිසා පොත නොකියෙව්ව කට්ටිය මේ ලිපිය නොකියව ඉන්නව නං හොඳයි.
පහුගිය කාලයේ මිනිස්සු පිස්සුවෙං වගේ හොඳ කියපු පොතක් තමයි “සෙංකොට්ටං” කියන්නෙ. අන්තර්ජාලේ තැං තැං වල සිද්ද වෙච්ච කතාවල හැටියට මේක ඇවිල්ලා “පට්ට” පොතක්. වෙන පොත් මාලාවක් කියවන නිසා මේක මිලදීගෙන කියවන්න උනන්‍දුවක් නොතිබ්බට, මේ ළඟදි ඔෆිස් එකේ ලොක්කා මේක මිලදී ගත්තු නිසා සහ අඩු කාලයක් ඇතුලත කියවන්න පුළුවං කියල කියපු නිසා, මම තීරණය කළා මේක කියවල බලන්න.
සෙංකොට්ටං මුලින්ම ලකුණු කපාගත්තේ පොතේ මුල ඉඳංම තියෙන නිමක් නැති යතුරු ලියන දෝෂ (typos) තොගේ නිසා! පොතක පළමු හෝ දෙවන මුද්‍රණයක් නම් මේ වගේ දේකට සමාව දෙතෑකි; හැබැයි මට කියවන්න ලැබුනේ මේ පොතේ දහයසවැනි මුද්‍රණය! 2012 අගෝස්තු වල කරපු පළමු මුද්‍රණෙං පස්සේ 2015 අගෝස්තු වෙනකොට මුද්‍රණ දහසයක් (!) කරලා තිබුනත්, සෝදු පත් බලන්න කිසිම කෙනෙක් හිතල නොබලපු පාටයි. මේවගේ පොඩි කාරණා වලිං තේරෙන්නේ පොතේ “තිරය පිටුපස” සෙට් එක පොත කොච්චර වැදගත් කොට සිතනවද කියන එක තමයි! අවුලක් නෑ, යතුරු ලියන දෝෂ වලට සමාව දීලා කතාව දිහා බලමු.
මේ පොතේ අළු චරිත නැත. හැබැයි චරිත වර්ග තුනක් සිටී. පට්ට සුදු චරිත, පට්ට කළු චරිත, සහ පට්ට සුදු සහ පට්ට කළු දෙකම තියන චරිත. ඔය දෙකම තියන චරිත සහ අළු චරිත පටලව නොගන්න පරිස්සං වෙන්න ඕන. “දොස්තර ජැකිල් සහ හයිඩ් මහත්තයා” වගේ එකිනෙකට පරස්පර පෞර්ෂත්ව වෙන් වෙන්ව එකම ඇඟක් තුල ක්‍රියාත්මක වන චරිත මේකෙ තියනවා. ඒවට මම හිතන්නේ “මල්ටිපල් පර්සනෑලිටි ඩිසෝඩර්” කියන ලෙඩේ වැළඳිලා වෙන්න ඕන. මේ චරිත හොඳ වෙලාවට පට්ට හොඳයි, නරක වෙලාවට පට්ට නරකයි. එහෙම නැතුව හැබෑ ලෝකෙ අපි හැමෝම අයිති වෙන හොඳ නරක දෙකම මිශ්‍ර වෙච්ච කට්ටිය මේ කතාවේ නෑ.
පට්ට සුදු චරිත වලට උදාහරණ ගන්න එක තමා ලේසිම වැඩේ. මොකද මේකෙ ඉන්න ප්‍රධාන චරිත බහුතරයක් පට්ට සුදුයි. වීරප්පුලි හේනයා, මල්මා රිදී, ගුණ රාලහාමි, නම්බු හේනයා, බබා හේනයා පට්ට සුදුයි. මේ අය නිකං රහත් වෙලා වගේ. කුරා කූඹියෙකුටවත් වැරැද්දක් මේ අයගෙං සිද්ද වෙන්නෙ නෑ. පට්ට අහිංසක හැමවිටම නිවැරදි පොරවල් මේ අය.
පට්ට කලු අය හොයන එක සුදු අය හොයනවට වඩා ටිකක් අමාරුයි. මොකට පට්ට කලු චරිත ඇවිල්ලා ප්‍රධාන චරිත නෙවේ. අනගිහාමියි බබානිසුයි විතරයි පොඩ්ඩක් හරි වැදගත් වෙන කලු චරිත. අනිත් කලු චරිත හැම එකම පසුබිමේ තියන එව්වා විතරයි. උදාහරණයක් හැටියට බබා හේනයා ඉස්කෝලෙට දානවට තදින්ම විරුද්ධ උනු මනුස්සයා, ඊළඟට මල්මා රිදී ගෙ රෙදි පොට්ටෙනිය කඩෙං තියනවට විරුද්ධ වෙලා ඒකට පයිං ගහපු මුදලාලි හාමිනේ තමයි මතකෙට එන්නේ.
පට්ට සුදු සහ පට්ට කළු දෙකම තියන චරිත ඔය කලිං වර්ග දෙකට වඩා ටිකක් රසවත්. පොඩිනා තමයි මේකෙ ඉහළිංම ඉන්නේ. අනගිහාමි හම්බවෙනකං පොඩිනා පට්ට සුදුයි. මල්මා රිදී හෙවත් තමංගෙ අම්මා කියන දේ අහගෙන ඉඳපු සුවච කීකරු දුවෙක්. හැබැයි ඉතිං අනගිහාමි හමුවෙලා විනාඩියක් යන්න කලිං මේකි පට්ට කලු සහ පට්ට මෝඩ වෙනවා. අනගිහාමි හම්බඋනාට පස්සේ පොඩිනාට තියන එකම උවමනාව ඌත් එක්ක හැමිණෙන එක විතරයි. පට්ට සුදු චරිතේ කිසිම පදනමක් පසුබිමක් නැතුව පට්ට කලු වෙනවා. කාගෙ කවුද කියල කියන්න දන්නැති අනගිහාමි කියන මනුස්සයාට පන ඇරල ආදරේ කරන්න ගන්නවා. මේ ඇවිල්ලා මුං දෙන්නා මුනගැහිලා පැයක් හමාරක් යන්නත් කලිං! ඉන්ස්ටන්ට් ආදරේ.
පොඩිනාගෙ ඊළඟ පට්ට කලු සිද්දිය තමයි පට්ට සුදු නම්බු හේනයා කියන මිනිහාව දූෂණේ කරන එක. අනගිහාමිත් එක්ක හැමිනිච්ච හැමිණිල්ල නිසා ඇතිඋනු පොඩි එකාට තාත්තෙක් ඕන නිසා ඒ මිනිහාව දූෂණේ කරලා බලෙන් බැඳගන්නවා. හැබැයි ඊට පස්සෙ ඌට සලකන්නේ ඌ පට්ට වැරැද්දක් කරල වගේ. ඇයි ඒ? මස්ඉඹුල මහත්තයා මේ හැසිරීමට හේතු සාධක දෙන්නෙ නෑ.
ඊළඟට පොඩිනා පට්ට සුදු වෙනවා. තමංට ලැබෙන දරුවා වන බබා හේනයාට පොඩිනා පන ඇරල ආදරෙයි. මේ වෙනස්වීම් එකිනෙක ගැලපෙන්නෙ නෑ. මේ අන්ත දෙක අතර මාරුවීමේදි පොඩිනාගෙ හිත ඇතුලෙ ක්‍රියාත්මක වෙන සිතුවිලි අපිට පේනවා. ඒවා කිසිසේත්ම එක රටාවකට පෑහෙන්නෙ නෑ. ඉතං අපිට සැක කරන්න තියෙන්නෙ පොඩිනාට මල්ටිපල් පර්සනෑලිටි ඩිසෝඩර් එක තියනවයි කියන එක.
පොඩිනගෙ නංගි වෙන හීං රිදීටත් සැරට නැතත් ටිකක් මේ ලෙඩේ තියනවා. හීං රිදී ප්‍රධාන චරිතයක් වෙන්න පටං ගන්නෙ ඇයගෙ කොටහළු මගුලෙ ඉඳලා. ඊට කලිං හීං රිදී ගැන වැඩි සඳහනක් නෑ. කලිං කිසි හැලහොල්මනක් නැතුව පැත්තකට වෙලා හිටි හීං රිදී කොටහළු මගුලෙං සතියක් යන්නත් කලිං බබානිස් කියන මනුස්සයාට පට්ට මෝඩ විදියට පට්ට ආදරේ කරන්න ගන්නවා. ඉන්ස්ටන්ට් ආදරේ පාට් ටූ.
කලුද සුදුද කියල වෙන් කරන්න බැරි එකම එක චරිතයයි මම මේ කතාවෙදි දැක්කේ. ඒ මල්මා රිදීගෙ අක්කා වෙන රම්බරී. අන්න ඒ චරිතෙ විතරක් යම්කිසි බරක් ඇතුව කතාවෙ පසුබිමේ උනත් ටිකෙන් ටික වර්ධනේ වෙනවා. එකම එක ප්‍රධාන ජවනිකාවක විතරයි ඒ චරිතය ප්‍රධාන වෙන්නේ.
මේ පොතේ සමහර චරිත තියනවා හඳුන්වා දුන්නා විසිකරා මාදිලියේ. කතාව පටං ගන්න උපාසක මහත්තුරු දෙපළ, පොත් විකුණන බවතා, පොඩිනා මරන “කැලෑ සතා”. මේ චරිත වලට කිසි ගැඹුරක් නෑ. අතීතයක් නෑ, අනාගතයක් නෑ. හිතුනට අඳුන්වලා දුන්නා එකම එක ජවනිකාවකට. රත්නපුරේ ඉන්න ලොකු පුතා ගැන නමිං විතරයි සඳහං වෙන්නේ. ඒ (නො)චරිතේ එකම ප්‍රයෝජනේ කතාව අවසානේ බබා හේනයා අරං-හදාගැනීම විතරයි.
කතාවෙ සැබෑ අවසානය ලිවුවට පස්සේ මස්ඉඹුල මහත්තයාටත් තේරිලා තියන පාටයි “මේක මදි” කියලා. ඒක නිසා තමයි අගට අතුරු කතාවක් පූට්ටු කරලා බබා හේනයාට සමූහ ව්‍යාපාරයක අයිතිකාර කමයි, කොල්ලුපිටියෙන් සුපිරි ගෙදරකුයි, ඔක්ස්ෆර්ඩ් වල ඉගන ගන්න ඉංග්‍රිසි විතරක් කතා කරන්න පුළුවන් පොෂ් මිණිපිරියකුයි දීල තියෙන්නේ.
මේ පොතේ පරිච්ඡේද වෙන් කරලා තියෙන්නෙ මොන පදනමකින්ද කියල එක මට තේරුම් ගන්න බෑ. කතාව කියන දෘෂ්ඨි කෝණය වාක්‍යයෙන් වාක්‍යයට වෙනස් වෙනවා. සමහර විට සිතුවිල්ලක් ගැන කියනකොට මේ කාගෙ සිතුවිල්ලක් ද කියලා බලාගන්න දෙතුන් පාරක් බලන්න වෙනවා. මේ වගේ තාක්‍ෂණික දෝශ සමූහයක් නිසා කතාව වෙහෙසකර වෙලා තියනවා.
පොත කියෙවුවට පස්සෙ මට හිතුනෙ “අපරාදේ!” කියලා. දැනට පරම්පරාවකට කලිං වෙනකම්ම ලංකාවෙ පට්ට ප්‍රශ්නයක් වෙලා තිබුනු දැනටත් පොඩ්ඩක් ඉතිරි වෙලා තියන කුල ක්‍රමය ගැන මීට වඩා දෙයක් කරන්න තිබුනා. විනාඩි දෙකේ ක්‍ෂණික ආදරයවල්, පට්ට සුදු සහ පට්ට කලු මිනිස්සු වැනි දේවල් කතාවෙ වටිනාකම නැති කරලා.
පොත කියවලා, පත අට එකට සිඳවා ගන්න ඔබට පුළුවන් නම් මස්ඉඹුල කතාව ලියන්න පටන් ගන්නකොට හිතේ තිබුන අරමුණ තේරුං ගන්න පුළුවන් වෙයි සමහර විට. ඒ වටා ගොඩනගපු කතාව ඒ අරමුණට නොයතත්, ඒ අරමුණ තේරුං ගන්න පුළුවං නං වටිනවා.
4 responses to “සෙංකොට්ටං: කියන තරං සුවඳ නැත”
මේ නවකතාවේ ඇති ලොකුම වරද තමයි අය අවසානයයේ මෝඩ සුඛාන්තයක් දාපු එක. ඒවා අවශ්‍ය පොඩි ළමයින් ගේ කතාවලටයි.
අනගිහාමි කන්ට්‍රෑක්ට් කිලර්ව දාලා පොඩිනාව මරපු තැනින් කතාව නවත්තන්න තිබුණා!
සිරාවට. කතාවට කිසිම වටිනාකමක් එක් කිරීමක් ඒ කොටසින් වෙලා නෑ. උනා නං වෙලා තියෙන්නේ අඩු වීමක් විතරයි.
මට නං හිතුනේ, කතාව හිස් කියලා කතුවරයාට හිතුනාම, මොකක් හරි අවසානයක් දෙන්න ඕන කියලා, ප්‍රධාන කතාව ලියල පස්සෙ කෘත්‍රිමව කරපු පූට්ටුවක්!
නම්බු හේනයා haminenna akamati eka tamai hetuwa
podinata uwa wahakaduru wage wenna
නම්බුහේනයා හැමිනෙන්න පුළුවන් කමක් නැති එකෙක් බව දැනගෙනම නෙව පොඩිනා ඌව බලෙන් බැඳ ගත්තෙ?