ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි


ජනාධිපතිවරණයේදී ඡන්දය දමන හැටි මාධ්‍ය මගින් නිතර නිතර දැනුවත් කළත්, ඒ දැමූ ඡන්දය ගණන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාවට එතරම් පැහැදිළි දැනුමක් නැහැ. මේ ලියමන ලියන්න ඕන කියලා හිතුනේ ට්‍විටර් වලදී මේ ගැන සෂේන් සහ සහන් කතාකරන්න යෙදුනු නිසා.

මගේ තාත්තා දැනට වසර කිහිපයකට පෙර විශ්‍රාම යන්න කළින් කිහිප වතාවක්ම ඡන්ද පොළ ස්ථානාධිපති හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ස්ථානාධිපති ලෙස කටයුතු කරලා තියන නිසා මම ඔහුගෙන් ඇහුවා මේක කරන්නෙ කොහොමද කියන එක පිළිබඳව. තාත්තා විශ්‍රාම ගියාට පස්සේ කිසියම් සංශෝධනයක් උනාද කියන එක ෂුවර් නැතත්, මෙන්න මේ විදියටලු ගණන් කිරීම් සිද්ධ වෙන්නේ (වෙනසක් විය යුතු තැනක් තියනවා නම් දන්වන්න.):

ඡන්දය ගණන් කිරීම ඇරඹීම

සවස 4 ට ඡන්ද ප්‍රකාශ කිරීමේ කාල සීමාව අවසන් වූ වහාම ඡන්ද පෙට්ටි සීල් තබනවා ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගේ අත්සන් සහිත ලියවිල්ලක් හා, ලාකඩ වලින් තබන මුද්‍රාවකින් යුතුව. ඉන්පසු එකී ඡන්ද පෙට්ට අදාළ ගණන් කිරීම් පරිශ්‍ර වෙත පොලිස් ආරක්‍ෂාව සහිතව ලංගම බස් රථ මගින් ගෙනියනවා. මේ ලංගම බස් රථ වල එක් ඡන්දය දැමීමේ මධ්‍යස්ථානයක හෝ වැඩි ගණනකට අදාළ ඡන්ද පෙට්ටි තිබෙන්නට පුළුවන්.

ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍ර එක් දිස්ත්‍රික්කයක එකක් හෝ වැඩි ගණනක් තිබෙන්නට පුළුවන්, ඒක තීරණය වෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයෙන් අපේක්‍ෂිත ඡන්ද සංඛ්‍යාව මත. එක් පරිශ්‍රයක් තුලත් එක් එක් ආසනය සඳහා වෙන වෙනම ගණන් කිරීමේ මධ්‍යස්ථාන තිබෙනවා. ඡන්ද සංඛ්‍යාව වැඩි ආසන සඳහා ගණන් කිරීමේ මධ්‍යස්ථාන එකකට වැඩි ගණනක් තිබෙන්නට පුළුවන්.

ආසනයකට අදාළ ඡන්ද පෙට්ටි මෙන්න මේ මධ්‍යස්ථානයන් තුළට ගෙන එනු ලැබීමෙන් පස්සේ මැතිවරණ නිලධාරීන් හා පක්‍ෂ නියෝජතයන් මුලදී තබන ලද අත්සන් හා ලාකඩ මුද්‍රා පරීක්‍ෂා කර බලා සෑහීමට පත් වීමෙන් පසුව ඡන්ද පෙට්ටි විවෘත කොට ගණන් කිරීම පටන් ගන්නවා.

ඡන්දය හෙවත් පළමු මනාපය ගණන් කිරීම

මුළදී ගණන් කරන්නේ ඡන්දය හෙවත් පළමු මනාපය පමණයි. ඡන්ද පත්‍රිකා පරීක්‍ෂා කර බලා අවලංගු ඡන්ද පත්‍රිකා වෙනම එකතු කරනවා. ඉතිරි වලංගු සියළු ඡන්ද පත්‍රිකා ප්‍රකාශ කර ඇති ඡන්දය අනුව වෙන් කරනු ලබනවා. ඉන්පසු ඒ වෙන් කළ ඡන්ද පත්‍රිකා 50 හේ මිටි බවට පත් කරනවා. ඊළඟට ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ මෙවැනි 50 මිටි ගණන් කර ඒ ඒ ආසනයට අදාළ ඡන්ද ප්‍රතිඵලය අදාළ පරිශ්‍රයේ ප්‍රධානියාට ලබා දීමෙන් පසු මැතිවරණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසුව මාධ්‍යයට නිකුත් කරනවා.

මෙලෙස මුළු රටේම ආසනවල ඡන්ද ප්‍රථිපල එකතු කිරීමෙන් දෙපාර්තමේන්තුවේදී දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමේ ප්‍රථිඵල නිකුත් කරනවා.

දෙවන හා තෙවන මනාප ගණන් කිරීම

යම් හෙයකින් වලංගු මුළු චන්ද ප්‍රමාණයෙන් 50% කට වඩා එක් ඡන්දයක් යන කඩඉම පැණීමට කිසිදු අපේක්‍ෂකයෙකු සමත් වෙලා නැත්නම් ඇරඹෙනවා දෙවන මනාපය ගණන් කිරීම.

එහිදී දැනට පළමු සහ දෙවන ස්ථාන ලබාගත් අපේක්‍ෂකයින් දෙදෙනා හැර ඉතිරි අපේක්‍ෂකයන් සඳහා ඡන්දය පාවිච්චි කර තිබූ අයගේ ඡන්ද පත්‍රිකා මිටි නැවත පරීක්‍ෂා කර බලනවා. ඔවුන්ගේ දෙවන මනාපය පළමු හෝ දෙවන ස්ථාන ලබාගත් අපේෂකයන්ට පාවිච්චි කර ඇත්නම් ඔවුන්ගේ මනාපත් ඉහත කී අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් ඔවුන් දෙවන මනාපය දී ඇති අයගේ ගොඩට එකතු කරනවා.

එහිදීත් වලංගු මුළු චන්ද ප්‍රමාණයෙන් 50% කට වඩා එක් ඡන්දයක් යන කඩඉම ජය ගෙන නැත්නම්, දෙවන මනාපයත් දෙවැන්නාගෙන් පහළ අපේක්‍ෂකයන්ට දී තිබූ ඡන්ද පත්‍රිකා (එනම් ඉහත අවස්ථා දෙකේදීම පළමු හෝ දෙවන අපේක්‍ෂකයන් වෙත එකතු නොවූ ඡන්ද පත්‍රිකා.) වල තෙවන මනාපය ගණන් කරනවා.


4 responses to “ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි”

    • ඒකත් එහෙමද? මේ කොයි අවස්ථාවෙන් ගණන් කරල 50-50 ආවොත් කාසිය උඩ දානවද?

  1. නියමයි! තෙවන මනාපයත් ගණන් කරලා 50% ගන්න බැරි උනොත් ආයෙම ජනදිපතිවරනයක් තියෙනවද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *