ලෝකය එන්න එන්නම විනාශ මුඛයට යනවා යැයි සිතීම ලෝකයේ බොහෝ සමාජයන් හි දක්නට ලැබෙනවා.
මෙසේ සිතීමට හේතුව තමන් මියගියාට පසුව එන පරම්පාරවන්ට හිමි වන ලෝකය තමන් දැනට සිටින ලෝකයට වඩා හොඳ එකක් වන බව සිතීමට මිනිසුන් දක්වන මැලි කමයි.
කාලයත් සමගම මිනිස් සමාජයේ ආයු අපේක්ෂාව වැඩි උනත්, ජීවත්වීමේ පහසුව වැඩි උනත්, වේදනාකාරී බව අඩු උනත්, පෞද්ගලික වශයෙන් බලන කළ මිනිසුන් කැමති අද තමා ජීවත් වන විදිය උපරිමය බව විශ්වාස කිරීමටය. තමන් අවුරුදු 100 ක් පසු වී ඉපදුනේ නම් තමාට දැනට වඩා කරදර අඩු, විනෝදය වැඩි, හා සමස්ථයක් ලෙස වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකිව තිබුනේය යන අදහස මිනිසාට දුකක් ගෙනදේ. තමන්ට වඩා හොඳ සමාජයකට උරුම කම් කියන අනාගත පරම්පරාවන් ගැන මිනිසුන් තුළ ඇත්තේ ඊර්ෂ්‍යාවකි.
එයට විසඳුම කවරේද? මිනිස් සමාජය ළඟදීම මහත් නරක අතට හැරෙනු ඇති බව විශ්වාස කිරීමය. යුද්ධය, පාරිසරික හානි, සමාජිය කැළඹීම් වැනි දේ තුළින් තමන් මිය ගොස් සුළු කළෙකින් මිනිස් සමාජය විනාශ වනු ඇති විශ්වාස කිරීම පෞද්ගලික දෘශ්ඨිකෝණයෙන් බලන විට සැනසිලි දායකය. ලැබිය හැකිව තිබූ හොඳම ජීවිතය ලබන්නේ තමන් බව ඔවුන්ට එවිට සිතිය හැක. මිනිස් සමාජයේ හොඳම අවස්ථාවේ ඉපදීමට තමන්ට වටිනා ලොතරැයියක් ඇදී ඇති බව සිතා ඔවුන්ට සැනසිය හැකිය.
සෑම සමාජයකම පාහේ “ලෝකාවසානය” පිළිබඳ විශ්වාස ඇති වන්නේත්, අලුත් අලුත් දේවල් නිසා සමාජය විනාශ වනු ඇති බවත් මිනිසුන් සිතන්නට පෙළඹෙන්නේ මේ නිසාය.
(ක්වෝරා වෙබ් අඩවියේ ජේක් විලියම්ස් විසින් රචිත පිළිතුරක් ඇසුරිනි: https://www.quora.com/What-is-your-biggest-Ive-never-thought-of-that-in-that-way-moment/answer/Jake-Williams-65)