තහනමේ දේශය


අපි ගොඩක් දෙනෙක් බයිබලයේ සඳහන් වන “පොරොන්‍දු දේශය” ගැන කතාව කියවල හරි අහල හරි තිබ්බට කවදා හරි අහල තිබුනද “තහනමේ දේශය” කියල එකක් ගැන ? මම හිතන්නෙ නෑ. නමින්ම අපිට පොඩි අප්‍රසන්න ගතියක් ඇති වෙනව නේද ? නමුත් කණගාටුදායක කාරණය කියන්නෙ සාහිත්‍යගත “පොරොන්‍දු දේශය” මෙන් නොව මේ කියන “තහනමේ දේශය” මිහි මත තියනවා නොහොත් නිර්මාණය කරමින් පවතිනවා.

වැඩි වැල් වටාරම් නැතුව කීවොත්, මම කියන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා සමාජයට මහත් පිළිලයක් වී ඇති වුවමනාවටත් වඩා යම් යම් දේ තහනම් කිරීමේ ප්‍රතිපත්තියයි. ඇත්තටම තහනම් කිරීම යනු මම දකින්නේ බංකොලොත් දේශපාලනඥයින් විසින් ස්‍වකීය නොහැකියාව වසාගන්නට යොදාගන්නා කමකට නැති ආයුධයක් ලෙස. කණගාටුව වන්නේ මෙකී අදූරදර්ශී ක්‍රියා නිසා අපහසුතාවයට පත් වන්නේ සමාජයම වීමයි.

උදාහරණයක් ලෙස පසුගිය දිනක පනවන ලද “දුම්කොල හා මධ්‍යසාර පනත” හඳුන්වන්න පුළුවන්. මෙය ක්‍රියාත්මක වුනේ ඉතාම විසුළු සහගත ආකාරයකටයි. ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය තහනම් කිරීම වැනි ධනාත්මක අංග එහි ඇතුලත් වුනු අතරම, රූපවාහිනියේ විකාශනය වන වීඩියෝ වල ඇති දුම් බොන සහ අරක්කු බොන (“මත්පැන් පානය” කියල දැම්මනං “ලස්සනයි” කියල හිතුන ද ? නෑ එහෙම ඕන නෑ, මෙහෙම හොඳයි !) දර්ශන අපැහැදැළි කොට විකාශනය කිරීම වැනි විකාර අංගද එහි අඩංගු වුනා. දැන් ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය නොකිරීම, – ඉතාම කලාතුරකින් – බසයේ පහළින් ගමන්ගන්නා අයගේ හිසට නාකි මුත්තලා බුලත් කෙල ගැසීම, කුඩු ගැසීම පාලනය වීම කෙසේ වුවත්, රූපවාහිනියේ දුම්කොල හා මධ්‍යසාර නීතය නම් ක්‍රියාත්මකයි. නමුත් එයත් දැන් නෑ වගේ.

එතනදී සරල තර්කය තමයි “ළමයි” රූපවාහිනියේ දුම් බොනවා දැක්කොත් දුම් බොනවා, අරක්කු බොනවා දැක්කොත් අරක්කු බොනවා යන මන්‍ද බුද්ධික අදහස. එතැනදී ආණ්ඩුව වැරදි දෙකක් කරලා තියනවා.

  • ලංකාව “ළමයින්ගේ” රටක් ලෙස උපකල්පනය කිරීම.
  • “ළමයි”න්ට පෙනෙන සෑම දේම කරනවා සමගම “ළමයි”න්ට ඕවා පේන්නේ රූපවාහිනියෙන්ම පමණක් යයි සිතීම.

මගේ අදහස ඕනෑම දිනක, ඕනෑම වේලාවක අරක්කු සහ සිගරට් මිලදී ගැනීමට හැකියාව ලබා දිය යුතු අතර, ඒ මිලදීගැනීමේ හැකියාවට හා ප්‍රවාහනය කිරීමට කිසිදු බාධාවක් තිබිය යුතු නැත. නමුත් කිසිදු වේලාවක ප්‍රසිද්ධියේ දුම් හෝ අරක්කු බී හෝ බොමින් සිටිය නොයුතු අතර සිටීම දැඩි දඬුවම් ලබන වරදවල් බවට පත් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ සිදුවන්නේ මෙහි විලෝමය වන අතර එයින් සිදුවන්නේ නීතියට බයේ සිටීම හෝ විකල්ප මාර්ග භාවිතා කිරීමට මිනිසුන් පෙළඹීමයි.

මේ දින වල කතා බවට ලක් කෙරෙන තවත් සිද්ධියක් වනුයේ යම් පාසල් සිසුවියක් සතුව තිබූ ජංගම දුරකතනයක් පාසලට හසුවීම නිසා එකී සිසුවිය සියදිවි හානිකරගත් සිද්ධියකි. ඇතමුන් සියල්ල දත්තවුන් සේ යම් යම් චෝදනා එම සිසුවියට එල්ළ කළද, පවත්නා ඊනියා සුචරිතවාදී සංස්කෘතික මාෆියාවේ පීඩනය හමුවේ දිවි තොරකරගැන්ම හැරෙන්නට වෙනත් විසඳුමක් ඇයට නොදෙන්නට සූක්‍ෂම වූ විකාරරූපී ශ්‍රී ලාංකික සමාජයට මාගේ පිළිකුල ප්‍රකාශ කරමි.

එය කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් තුල ජංගම දුරකතන භාවිතය තහනම් කිරීමට අධ්‍යාපනය බාර ඇමතිවරයා ක්‍රියා කොට ඇත. බොහෝමයක් පාසල් තුල ජංගම දුරකතන තහනම ක්‍රියාත්මක වූයේ මින් බොහෝ කලකට පෙර බව ඔහු නොදන්නවා දැයි නොදන්නා නමුත්, එම “නීතිය” ද නිවැරදිව ක්‍රියාත්මක නොවනා බවයි ඉහතාකාර සිද්ධි වලින් පෙනී යන්නේ. මන්‍ද නීති ක්‍රියාත්මක වන්නේ එයට භාජනය වන්නාගේ කැමැත්තෙන් නොව ඔහු මත බලෙන් පැටවූ එකක් ලෙස බැවිනි. සිදු විය යුතුව තිබුනේ තාක්‍ෂණය නැමති ආයුධයේ යහපත් අයහපත් භාවිතාවන් ගැන ඔවුනට අවබෝධයක් ලබා දීමයි. එවිට පාසල් තුල ජංගම දුරකතන භාවිතයට නීතිමය අවසරයක්ම දුන්නද ඒවා යම් යම් කාර්යයන් සඳහා නොගැළපෙන ස්ථාන වලදී යොදා නොගැනෙනවා ඇත.

මේ සමගම පැනවුනු තවත් තහනමක් වූයේ වැඩිහිටියන්ට පමණයි පමණක් ලේබලය යටතේ ඇති චිත්‍රපට තහනමි කිරීමයි. මේ සඳහාද යොදාගත යුත්තේ ඉහත දුම් සහ අරක්කු පානය ගැන මා විසින් දක්වා ඇති අදහසමය. සෙසු සමාජයට හානියක් නොවේ නම්, නැරඹිමට ඇවැසි අයවළුන් ඒවා නැරඹීමේ ඇති වරද කුමක්ද ?

ඉහත සඳහන් කරන ලද සිසුවියගේ සියදිවි නසාගැනීමේ සිද්ධියට නිල්වීඩියෝ කතාවක් සම්බන්ධ කෙරුමට කටකතා-කාරයෝ දඟලති. එය අළුයම කෙල පිඬක් ලෙස බැහැර කරන අතර, ඇත්තෙන්ම එවැන්නක් නැරඹුවේයැයි එකී සිසුවියට චෝදනා කළ හැකිද ? චෝදනා කිරීමට එය වරදක් ද ? ඊනියා සුචරිතවාදී සංස්කෘතික කාරයන්ට නම් අවුරුදු 14 – 15 සිසුවියක් එවන් වීඩියෝ නරඹනවා යැයි ඇසීම ෆුල් හොල්මං නිව්ස් එකක් වුවද මිනිස් මනස සහ මිනිසා නම් සමාජ සත්වයා ගැන දන්නා අයවළුන්ට එය අමුත්තක් නොවනු ඇත.

තහනමකින් සිදු කළ හැකි උපරිමය රබර්බෝල වතුරේ ඔබා අත රිදෙන තුරු හෝ අමතක වන තුරු අල්ලාගෙන සිටීම පමණක් බව කීමට කැමැත්තෙමි.

,

19 responses to “තහනමේ දේශය”

  1. යම් කිසි අරමුණක් එළි දැක්වීමට ඔබ උත්සහ ගෙන ඇත. නමුත් අන්තවාදී ලිබරල් චින්තනයක් පටවාගෙන අදහස ඒ තුල බොඳ කරවාගෙන ඇත.

    සමාජයේ සමහරු authoritarian වේ. තව කොටසක් එම authority එකට යටත් වේ. තවත් සමහරු anti-authoritarian වේ. මේ සියල්ලෙහිම මධ්‍යස්ථ මත දරන්නන්ද අන්තවාදින්ද වේ.

    ඔබේ මෙම තර්ක එකකට කැටි කලොත් පහත සඳහන් සිද්ධියද සාධාරණීකරණය කල හැක.

    කොළඹ කොල්ලුපිටිය හන්දිය මැද යුවලක් ඔවුනොවුන් බදාගෙන රාගික අන්දමින් සිප ගනිති.

    දැන් ඔබ මෙය මෙලෙස පැහැදිලි කරනු ඇත.

    ඕනේම කෙනෙක්ටෙ පාරේ මැද කිස් කරන්න අයිතිය තියෙන්න ඕනේ. කිස් කරන එකේ වැරැද්ද මොකද්ද? කාටවත් බෑ ඒ අයට ඒ දේ පාර මැද කරන්න තහනම් කරන්න.

    සමාජයක පැවැත්ම සඳහා අවශ්‍ය මූලික විශ්වාසයන්, වටිනාකම්, සහ සංස්කෘතික අංග හා ඊනියා සංස්කෘතික අංග අතර වෙනස හඳුනාගත් දවසට වඩාත් වැදගත් ආකාරයේ සංවාදයක් ගොඩ නගා ගත හැකි වෙයි. එක් පැත්තකට ධ්‍රැවීකරණය වී යන සමාජයට පිළිතුර ප්‍රතිවිරුද්ධ පැත්තට ධ්‍රැවීකරණය නොවේ.

    අසභ්‍ය පින්තූර හා වීඩියෝ නොතිබුනේ යැයි ඔබ සිතීමට පෙළඹෙන්නේ ද ඔබ තුල සහජයෙන් ඇති සදාචාරවත් බව නිසාය. මිය ගිය අයෙකුට එලෙස කතා කල යුතු නැතැයි ඔබ සිතයි. නමුත් දැනට පෙනෙන ආකාරයට ගැටළුවේ මූලය තිබෙන්නේ එතනනම් මිය ගිය අයෙකුට අගෞරව නොකිරීමට බුම්මා ගෙන සිටීමේ තර්කය කුමක්දැයි මට නොවැටහේ. අනෙක් අතට සාකච්ඡා හා චෝදනා වෙන් කර ගැනීමේ හැකියාවන් ද ඔබ දියුණු කර ගත යුතුය.

    වයසේ වැරැද්දට ආවේගශීලිව කතා කල පළියට වෙනස් කමක් ඇති කල නොහැක. වෙනස් කම ඇති කිරීමට පෙර වෙනස අවසානයේ බලාපොරොත්තු වන දේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.

  2. "ලංකාවට වැරදුනේ කොතැනද" යන මැයෙන් වික්ටර් අයිවන් මහතා කලකට පෙර රාවයට ලිපි පෙලක් ලීවේය (ඒ එකල ලෝකයේ අසමත් රාජ්‍ය ලයිස්තුවට ලංකාව ඇතුලත් වීම නිමිත්තෙනි)
    ලංකාවට වරදින්නට හේතු වන තවතවත් හේතු කාරණා දැන් දැන් එලි බසිමින් පවතී.

    වචනයේ පරිසමාප්තාර්ථයෙන් මේ රට දැන් කොමිටල් විජිතයක් වී හමාරය. සියලු දෙනා එක්ව තවතවත් ඊට විහිලු සපයති. මඩ අනති. අවසන සියල්ලෝම මඩේ එරී යති.

  3. මේ යන යෑමට නම් 'දුරකතන පණත'ක් ඇවිත් ජංගම දුරකතන අවුරුදු 18ට අඩු ලමයින්ට තහනම් ම කරල දායි… 🙂

  4. හොද ලිපියක් කියලා වෙන මුකුත් නොකියා ඉන්නම්…
    (වෑන් එකක් ඇවිත් මාව දාගෙන ගියෝතින් දරු පවුල බලාගන්නෙ කව්ද?)

  5. ඒක ඇත්ත අපේ අම්මටත් ඉන්නෙ මම විතරයි. කියන්න තියෙන්නෙ මුංට පිස්සු කියල තමා

  6. දැනුවත්ව නම් නැ තාම. හැබැයි පුලුවන් කාලෙ හොදට දගලලා එස්පයර් උන ඔක්කොමලා වගේ මෙහෙනෙ නැංගුරම් දාල ඉන්නෙ.

  7. I remember, once a Singaporean sarcastically said about his country, "Singapore is a 'fine' country"; by this he meant S'pore's use of law unnecessarily for every petty issue. Wonder, SL also becoming a "Police State" like S'pore.

    Good news is, it seems that there are many who raise their voices against this; even these young kids. I'll raise my hat for you all. But for fuck's sake, be careful by knowing when and where to keep your mouth shut.

  8. >සමාජයක පැවැත්ම සඳහා අවශ්‍ය මූලික විශ්වාසයන්, වටිනාකම්, සහ
    >සංස්කෘතික අංග හා ඊනියා සංස්කෘතික අංග අතර වෙනස හඳුනාගත් දවසට
    >වඩාත් වැදගත් ආකාරයේ සංවාදයක් ගොඩ නගා ගත හැකි වෙයි. එක්
    >පැත්තකට ධ්‍රැවීකරණය වී යන සමාජයට පිළිතුර ප්‍රතිවිරුද්ධ පැත්තට
    >ධ්‍රැවීකරණය නොවේ

    මිනිසාගෙ මූලික විශ්වාසයන් හට රජය (රාජාණ්ඩුව) අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුකිරීමට තැත්කරනු ලබන අවස්ථාවකදී "සාමාන්‍ය ජනතාව" විසඳුම වශයෙන් 'ප්‍රතිවිරුද්ධ පැත්තට ධ්‍රැවීකරණය' තෝරාගැනීම වැලැක්විය හැකිද?

  9. It will not be long before people need to put up sign on their door saying "Fornicating Under the Consent of the King" (yes king) before engaging in sex because having sex without a permit will soon be illegal.

  10. දැන් ඔය කියන දුරකතනේ තිබ්බයි කියන අසභ්‍ය මෙව්වා එක කවුරු හරි දැක්ක කෙනේක් ඉන්නවද ?
    අනික ඔය දේවල් බලන එක තහනම් දෙයක් කියලා කියන්නෙ කොහොමද ?
    අපි ජීවත් වෙලා ඉන්නෙත් ඔය දේට පිංසිද්ද වෙන්න ( අපි කවුරුවත් ඕපපාතික නෙමෙයිනේ )

  11. @පිටස්තරයා:
    [said:පිටස්තරයා]
    කොළඹ කොල්ලුපිටිය හන්දිය මැද යුවලක් ඔවුනොවුන් බදාගෙන රාගික අන්දමින් සිප ගනිති.

    දැන් ඔබ මෙය මෙලෙස පැහැදිලි කරනු ඇත.

    ඕනේම කෙනෙක්ටෙ පාරේ මැද කිස් කරන්න අයිතිය තියෙන්න ඕනේ. කිස් කරන එකේ වැරැද්ද මොකද්ද? කාටවත් බෑ ඒ අයට ඒ දේ පාර මැද කරන්න තහනම් කරන්න.
    [/said]

    ලිපියේ මා කියන්නේ තහනම් කළ යුත්තේ සමාජය අපහසුතාවයට පත් වන ක්‍රියා මිස, පනවන නීති වලින් සමාජය අපහසුතාවයට පත් විය නොයුතු බවයි.

    නමුත් ඔබ සඳහන් කරනා අවස්ථාවේදී සමාජය අපහසුතාවයට පත් වන බැවින් එවන් ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබඳ ගැටළුවක් නොමැත.

    නමුත් වැරැද්ද ඇත්තේ ඔබ සඳහන් කරන අන්‍දමට රාගික අන්‍දමින් සිප ගැනීමක් නොව, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතාකරමින් පාරේ ගියද එය “දැඩි අපහසුතාවයක්”, “ආනන්තර්ය පාපකර්මයක්” ලෙස හුවා දැක්වුමට සමාජය පෙළඹීමයි.

    [said:පිටස්තරයා]
    අසභ්‍ය පින්තූර හා වීඩියෝ නොතිබුනේ යැයි ඔබ සිතීමට පෙළඹෙන්නේ ද ඔබ තුල සහජයෙන් ඇති සදාචාරවත් බව නිසාය. මිය ගිය අයෙකුට එලෙස කතා කල යුතු නැතැයි ඔබ සිතයි. නමුත් දැනට පෙනෙන ආකාරයට ගැටළුවේ මූලය තිබෙන්නේ එතනනම් මිය ගිය අයෙකුට අගෞරව නොකිරීමට බුම්මා ගෙන සිටීමේ තර්කය කුමක්දැයි මට නොවැටහේ.
    [/said]
    මා හට ගැටළුවක් වී ඇත්තේ මිය ගිය අයෙකු සම්බන්‍ධව මෙය කතා කිරීම නොවේ. සියල්ලට විසඳුම දිවි තොරකරගැනීම බව ඇදහූවෙකුට ගෞරව කෙරුමටද මට අවැසි නැත. නමුත්, ඇයව එකී තැනට තල්ලු කොට දමනු ලැබුවේ ඊනියා සුචරිතවාදී සංස්කෘතික මාෆියාවය යන හැඟීම මට ඇත.

    අනෙක් කාරණය, ඔබලා ඇය සතුව තිබූ දුරකතනය පරීක්‍ෂා කළේ කෙසේදැයි යන සාධාරණ සැකය මට මතු වීමයි. එය එක් උපකල්පනයක් පමණක් යැයි සිතා එය ගැන සාකච්ඡා කළා යයි සිතමු ? මෙම ගැටළුව දැකිය හැකි වෙනක් පැත්තක් නොමැතිද (උදා : මවුපියන් මිලදීගෙන නොදුන් දුරකතනයක් තමාට ලැබුනේ කෙසේදැයි යන්නට පිළිතුරු දීමට සිදුවීම සහ, ඒ පිළිතුර දිය හැකි පදනමක් හෝ ශක්තියක් ඇය සතු නොවීම.) ?

    අප කළයුත්තේ එක් සිද්ධියක් අල්ලාගෙන එය සිදුවුනේ කෙසේදැයි තර්ක කෙරුම නොව, අදාළ සිද්ධියට හේතුසාධක වූ සමාජයීය ගැටළු පිළිබඳ සංවාදයක් ගොඩනගා ගැනීම නොවේද ?

  12. Ya, Just like S'pore use CANING as a punishment for criminals.. (which is definitely against international convention of basic human rights)

    Today, I'm worried I voted for this government.

Leave a Reply to -බිன்ku- Cancel reply

Your email address will not be published. Required fields are marked *