ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.


PayPalForSriLanka

PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.

අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

ගැටළුව

ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය.

මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් – එනම් PayPal භාවිතයෙන් – සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.).

තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත.

දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.

ගැටළුවට හේතුව

ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:
“Why does my PayPal account have only send capabilities?

Members in some countries and regions may only use PayPal to send payments and not receive payments due to the complexities of global finance. We are constantly working to improve services for you and hope to expand our features for you in the future.

You can view the countries with send only capabilities under the Send Money to Anyone in the Growing PayPal Network on the PayPal Worldwide (https://www.paypal.com/cgi-bin/webscr?cmd=_display-approved-signup-countries-outside) page.“ –

https://www.paypal.com/helpcenter/main.jsp;jsessionid=g2N6PMrCFxyfQQbJZ6j21v12yTw5xqPd1Mb1dxNG11nhGHjHY1y7!2075623774?locale=en_US&_dyncharset=UTF-8&countrycode=LK&cmd=_help&serverInstance=9002&t=solutionTab&ft=browseTab&ps=solutionPanels&solutionId=11811&isSrch=Yes

ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.

විසඳීම

ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.

  • eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.
  • සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.
  • ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.
  • තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.

විසඳන මග.

PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය.

PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:

  1. ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.
  2. ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.

ඔබේ සහය දක්වන්න


18 responses to “ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම.”

  1. PayPal ඉක්මණින් ලැබේවා යැයි පතමි. ලංකාවේ අයගෙන් මිල දී ගන්නට කැමති බොහෝ දේවල් තිබේ!

  2. ලංකාවට PAYPAL වල මුදල් ලබා ගැනීමේ පහසුකම නැත්තේ මහ බැංකුවේ නීති නිසා පමණක් නොවේ. පාරිභෝගිකයන් ප්‍රමාණය අඩුවීමත් එයට හේතුවක් (ලංකාවේ පාරිභෝගිකයන් ප්‍රමාණය 10000කටත් අඩු යැයි සිතමි ).

    • ඔබ කියන්නේ ලංකාවේ Paypal භාවිතා කරන්නන් අඩු නිසා Paypal සිය සම්පූර්ණ සේවාව ලංකාවට දෙන්නේ නෑ කියන එකද ? O.o

    • නැහැ, මට තැන් කිහිපයකින්ම ආරංචි වුනු විදියට PayPal කට්ටිය තුන් හතර වතාවක්ම මේ පිළිබඳව විමසද්දීත් තමා ශ්‍රී ලංකා මහ බැංකුව ඔවුන්ට අවසර දීම ප්‍රතික්‍ෂේප කරලා තියෙන්නේ.

      • Paypal ලංකාවට මුදල් ලබාගැනීමේ පහසුකම නොදෙන්නේ ලංකාවේ නීති රීති නිසා යැයි කීම මට දැනෙන විදිහට නම් Paypal සමාගමේ විහිලුවක්. හේතු ඇතිව විස්තරේ කියන්නම්:

        මේ පිළිබඳව මුලින්ම මම විමසීම් කලේ මීට අවුරුදු 7කට විතර කලින්. මට මතක හැටියට ඊට ආසන්න කාලයකදී තමයි ඉන්දියාවට මුදල් ලබා ගැනීමේ පහසුකම ලබා දුන්නේ. ඒ කාලයේදීත් මට ලැබුනු පිළිතුර තමා ලංකාවේ නීතිමය තත්වය නිසා මේ පහසුකම ලබා දෙන්න බෑ කියන එක.

        2010 දී විසින් ඉංදියාවේ මුදල් ලබාගැනීමේ පහසුකම එකවරම අත් හිටුවනවා. හේතුව ඉංදීය මහ බැංකුව විසින් මෙම පහසුකම නීති විරෝධී යැයි තීරනය කිරීම. මාස කිහිපයකට පස්සේ ඉලෙක්ට්‍රොනික පහසුකම් හැර අනිත් ආකාරයට මුදල් ලබා ගැනීම ලබා දෙනවා. දැන් ඉංදියාවේ ගිනුමක් ඇරඹීමට නම් ආදායම් බදු ගිනුමක් ආරම්භ කර එහි අංකය වෙත යැවිය යුතුඉ. ගිනුම අනුමත කර්න්නේ එම අංකය ඉංදීය ආදායම් බදු දෙපර්තුමේන්තුව විසින් අනුමත කල පසුවයි.

        එතකොට ලංකාවට මුදල් ලබාදීමට නොහැකිවුනේ නීතිමය ප්‍රශ්න නිසා නම් ඉංදියාවට ලබා දුන්නේ කොහොමද? Paypal සමාගමේ නීතිමය වගකීමක් තිබෙනවා ඔවුන්ගෙන් ලබා ගන්නා මුදල් නීති විරෝධී කටයුතු වලට නොයොදන බවට. එම කාලයේ ලංකාවේ තිබූ ප්‍රශ්නත් සමග ඔවුන්ට මෙය දැඩි ප්‍රශ්නයක් වුනා. එම කාලයේදී එම පහසුකම ලබා නොදීමට හේතුව ඒකයි. එසේ නම් දැන් ලබා නොදෙන්නේ ඇයි? ඉංදියාවේදී Paypal සමාගමට ඇතිවූ ප්‍රශ්නය තමා ඉංදියානුවන් ආදායම් බදු නොගෙවීමට මෙය මාර්ගයක් කර ගැනීම. එම නිසා තමයි බදු අංක සඳහන් කිරීමේ නව නීතිය (වෙන රටවල් වල නොමැති ) හඳුන්වා දෙන්නේ. මෙම පහසුකම ලංකාවට ලබා දෙනවා නම් ලංකාවටත් එවැනිම නීතියක් හඳුන්වා දිය යුතු වෙනවා. එයට අදාල අනිත් කාර්යාලීය වැඩ කටයුතු (admin overheads) කිරීම Paypal වලට පාඩුවක්; ලංකාවේ පාරිභෝගිකයන් ප්‍රමානය ඉතම අතලොස්සක් නිසා.

        ලංකාවේ සුලු පරිමාන හා ස්වයං රැකියා වල නියුතු අයට නම් කීමට් ඇත්තේ යනු Paypal මහ ලොකු බාධකයක් නොවන බවයි. පසුගිය අවුරුදු 7 තිස්සේම මම ස්වයං රැකියාවක් වශයෙන් (freelancer) පරිඝණක මෘදුකාංග සෑදීම සිදුකරනවා. මගේ පාරිභෝගිකයන් සිටින්නේ ඇමරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පමණයි. මගේ මාසික ලාභය (ආදායම නොවේ) ලක්ශ 1-1.5 ත් අතර වෙනවා. මෙයට අවශ්‍ය වුනේ නැහැ. Paypal හැර වෙනත් ඕනෑතරම් මුදල් ගනුදෙනු කරන ආකාර ලොවේ තිබෙනවා.

        • දීර්ඝ කාලයක් තිස්සේ ක්‍ෂේත්‍රෙය් නියුතුව සිටින නිසා සහ විශ්වාසී සේවාදායකයන් මෙන්ම ඔවුන් හඳුන්වාදෙන නව සේවාදායකයන් සිටින නිසා මහේෂ්ට නම් PayPal නොමැති වීම ලොකු ගැටළුවක් නොවන්නට පුළුවන්. මම සේවය කරන ආයතනයත් විදේශ සේවාදායකයන්ගෙන් මුදල් ලබාගැනීම කරන්නේ වෙනත් විද්‍යුත් හා විද්‍යුත් නොවන ක්‍රම අනුගමනය කිරීමෙන්. නමුත් ඔවුන් පවා කැමතියි PayPal භාවිතයෙන් පහසුවෙන් ගනුදෙනු කරන්නට. අප අතර ඇති විශ්වාසය හා සේවාවේ ගුණාත්මය නොවන්නට, ඔවුනට අප අතහැර වෙනත් PayPal පිළිගන්නා රටක ආයතනයක් වෙත යාමට කිසිදු බාධාවක් නැහැ.

          නමුත් මෙම ක්‍ෂේත්‍රයට ඇතුලු වන නවකයන්ට ඔබට මෙන් කිසිදු විශ්වාසී සේවාදායකයින් පිරිසක් ඇත්තේ නැහැ. ශ්‍රී ලාංකිකයන් PayPal හරහා ගෙවීම් ලබාගැනීමට නොහැකි බව පවසනවිට සේවාදායකයින් කරන්නේ ඔවුන් කෙරේ අනුකම්පාවෙන් PayPal වලට වඩා සංකීර්ණ ක්‍රම අනුගමනය කොට මුදල් එවීමට කැමතිවී ඔවුන්ගේ ව්‍යාපෘති ශ්‍රී ලාංකිකයන් වෙත බාර දීම නොව, PayPal හරහා ගෙවීම් ලබාගත හැකි රටක සිටින කෙනෙකු වෙත තම ව්‍යාපෘති බාර දීමයි. කෙතරම් දක්‍ෂතා සහ හැකියාව තිබුනත් ශ්‍රී ලාංකිකයන්ට මෙම ක්‍ෂේත්‍රෙය් ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම අනෙක් රටවලට සාපේක්‍ෂව දැඩි ලෙස අසීරු කර තිබෙනවා.

          ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව හා PayPal ආයතය මෙම ගැටළුවට අඩු වැඩි වශයෙන් කොටස් කරුවන් විය හැකියි. නමුත් රජය PayPal ආයතනයට අවැසි පහසුකම් සලසන්නට සූදානම් නම් ඔවුන්ට මෙහි නොපැමිණීමට හේතුවක් නැහැ. එනිසායි මෙම ඉල්ලීම අප රජය හා මහ බැංකුව වෙත ඉදිරිපත් කරන්නේ.

          • නමුත් ඔබ කියන ප්‍රශ්නය ඇති වන්නේ Paypal මගින් ගෙවීම් කිරීමේදී නේද? එයත්, Paypal මගින් මුදල් ලබා ගැනීමත් එකිනෙක සම්බන්ධ විය යුතු නැහැ. උදාහරනයක් ලෙස 2checkout මගින් ඔබට සේවා දායකයෙකු ලෙස credit card payment හා paypal payment පහසුකම් දෙකම ඔබේ පාරිභෝගිකයන්ට ලබාදිය හැකියි. මෙහිදී ඔබට paypal ගිනුමක් අවශ්‍ය වන්නේ නැහැ.

            අවුරුදු 7කට පෙර මමත් නවකයෙක් තමා 🙂 අනිත් අතට රජයක් ක්‍රියාකල යුත්තේ ඉතා සුලු ප්‍රමාණයක් වන පිරිසකගේ ඉල්ලීම් අනුව නොවේ. එම ඉල්ලීම් නිසා ඇතිවන ප්‍රශ්ණ පිළිබඳවත් රජය සිතා බැලිය යුතුයි.

          • @Mahesh: 2CheckOut freelance සේවාවන් ලබාදී මුදල් අය කරනා අයවලුන් සඳහා යොදාගත හැකි වන්නේ නැහැ.

            මාද ඔවුන්ගේ සේවාව සඳහා ලියාපදිංචි මුදලත් ගෙවා ඇතුලු වී සති ගණනක් තිස්සේ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් පසු ඔවුන් කීවේ 2CO සේවාව මෙවන් භාවිතාවන් සඳහා ලබා නොදෙන බවයි. ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඔවුන් ecommerce platform එකක් මිස මුදල් හුවමාරු පද්ධතියක් නොවන බවයි. ඔවුන් සමග ලියාපදිංචි වීමට වෙබ් අඩවියක් තනා පෙන්වා, ඔවුන් ලබාදෙන Terms and Conditions, Refund Policy වැනි තොරතුරු එම අඩවියට ඇතුල් කොට අප ලබාදෙන භාණ්ඩය හෝ සේවාව එම වෙබ් අඩවියේ විකිණීමට ඇත්තක් ලෙස සටහන් කළ යුතු වනවා. නමුත් freelanceකරුවන් කටයුතු කරන්නේ ඒ ලෙස නොවෙයි.

            මා මුදලක් ගෙවා හෝ එය උත්සාහ කර බැලුවේ PayPal ගිණුම් ඇත්තන්ගෙන් මෙරටට මුදල් ගෙන්වා ගැනීමට හැකි දැනට ඇති එකම ක්‍රමය එය බව හැඟී ගිය නිසා. නමුත් ඔවුන් අවසානයේ මගේ ඉල්ලුම ප්‍රතික්‍ෂේප කළා. මම හිතන්නේ නැහැ මෙතරම් කැපවීමක් කර ඉල්ලුම් පත්‍රයක් දමා, සති ගණනක් දීර්ඝ සම්මුඛ පරීක්‍ෂණ වලට පෙනී සිට, අවසානයේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමට අපගේ freelanceකරුවන් ගොදුරු විය යුතුයි කියා.

          • හොඳයි එහෙනම් ඒකත් කොහෙන් හරි හම්බ වෙනකම් බලාගෙන ඉමුකෝ 🙂

          • @Mahesh: කොහෙන්හරි හම්බවෙනකන් බලන් ඉන්න බැරි නිසා තමා මේ කෑ ගහන්නේ. 🙂

        • මහේෂ් ගේ අන්තර්ජාතික සම්බන්ධකම් PayPal නොමැතිව පවත්වාගෙන යා හැකි වීම සතුටට කරුණක් වුවද, පොදු ගැටලුවක් හැටියට ලොව වැඩි දෙනෙක් භාවිතා කරන මෙම සේවාව හරහා ලංකාවේ අයට මුදල් ගෙන්වා ගන්න බැරිවීම ලාංකිකයින්ට හැම තිස්සෙම හිසරදයක්. අළුතින් හමුවන සේවාදායකයෙක්ට අපි PayPal ගෙවීම් පිළිගන්නේ නෑ කිව්වට ඔහුට ලේසියෙන් ගෙවීම් කරන්න පුරුදු වෙලා ඉන්න සේවාව අතහැර වෙනත් ක්‍රමයකින් අපිට ගෙවීම් කරන්න කැමතිවෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි.. ගැටළුව කාගේ උනත්, යම් යම් නීති සම්පාදනය කරලා උනත් මේ සේවාව ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දියුණුවට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් කියලයි මට නම් හැ‍‍ගෙන්නේ.

  3. මං හිතුවේ ලලිත් වීරතුංග ප්‍රශ්නේ විසඳුවා කියලනේ!

    මේ ලිපිය ලියා ඇති විදිය අගෙයි, පේපැල් ගැන චතුරාර්ය සත්‍යයම මෙතන තියෙනවා.

    ඔබ ඊ-මේල් මගින් කළ ඉල්ලීම අනුව අන්න මගේ බ්ලොගයේ දකුණු ඉහල කෙලවරේ මේ ගැන පොඩි විජට්ටුවක් දැම්මා.

  4. මෙහි අළුත්ම තත්වය මොකක්ද?
    මම කියන්නේ මහේෂ්ගේ කථාව නිවැරදි උවත් ගැනුම්කරුවන්ගේ වැඩිකැමැත්ත ඇත්තේ පේපැල් වලට. හොදම නිදසුන තමයි මගේ වෙබ් එකක පේපැල් ගිනුමකින් ගනුදෙනු කිරිමට අවස්ථාව ලබා දුන්විට මසක ලැබු ආදායමෙන් භාගයක්වත් එය ඉවත්කල විට ලැබෙන්නේ නැහැ.මොකද මම සපයන සේවාවම සපයන්න තවත් බොහො පිරිසක් අන්තර්ජාලය තුල සිටින නිසා.අපත් සමග නිරන්තරයෙන් සිටි පරිභෝගියින් හැරුණුවිට අනිත් අය මැලිකමක් දක්වනවා වෙනත් ගෙවිම් ක්‍රමවලට යන්න.මේහි ප්‍රධාන හේතු ලෙස මම දකින්නේ විශ්වාසය,සරලබව සහ පුරුද්ද. එම නිසා පේපැල් ක්‍රමය ලංකාවට ලාබාගැනිම අප ලබන ඉතාම වටිනා ජයග්‍රහනයක් වෙනවා.

Leave a Reply to Mahesh Cancel reply

Your email address will not be published. Required fields are marked *